ඉරානයට එරෙහි යුද්ධය අවසන් බවට ට්‍රම්ප් කොංග්‍රසයට දැනුම් දෙයි.

අමෙරිකාවේ 1973 වසරේ ස්ථාපිත කළ එරට  යුද බලතල පනත යටතේ ජනාධිපතිවරයාට හදිසි අවස්ථාවල හමුදාව යෙදවීමේ බලය තිබුණද, එම මෙහෙයුම් දිගටම පවත්වාගෙන යාම සඳහා දින 60ක් ඇතුළත කොංග්‍රසයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ.

ඒ අනුව පෙබරවාරි 28 දින ආරම්භ කළ ඉරාන යුද්ධයට දින 60 සම්පූර්ණ වූ පසු, යුද්ධය අවසන් වී ඇති බැවින් අනුමැතිය අවශ්‍ය නොවන බව ට්‍රම්ප් කොංග්‍රසයට දැනුම් දී ඇත. ට්‍රම්ප් කොංග්‍ර­ස­යට දැනුම් දී ඇත්තේ අමෙ­රි­කාව සහ ඉරා­නය අතර සටන් විරා­මය ප්‍රකා­ශ­යට පත්වී­මත් සමඟ යුද ගැටුම් නිමා­වට පත්වූ බැවින් කොංග්‍ර­සයේ අනු­මැ­තිය අවශ්‍ය නොවන බවය.

ඔහු විසින් කොංග්‍රසයේ කථානායක මයික් ජොන්සන්ට සහ සෙනෙට් සභාවේ ප්‍රධානී චක් ගැස­ලිට වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ, අප්‍රේල් 7 දිනෙන් පසු අමෙරිකාව සහ ඉරානය අතර කිසිදු සෘජු යුද ගැටුමක් සිදු නොවූ බවයි.

එහෙත්, අරාබි මුහුදේ හමුදා පැවැත්වීම සහ ඉරාන වරායන් අවහිර කිරීම වැනි පියවර සඳහා කොංග්‍රසයේ අනුමැතිය අවශ්‍ය නොවන බැවින්, ඉරාන ආර්ථිකයට පීඩනයක් එල්ල කිරීම තවදුරටත් සිදුවනු ඇති බවද වාර්තා වේ.

ට්‍රම්ප් තවදුරටත් සඳහන් කර ඇත්තේ, මෙතෙක් පැවති යුද්ධයෙන් අමෙරිකාව සාර්ථකත්වයක් ලබා තිබුණද, ස්ථිර සාමයක් ඇති කර ගැනීම සඳහා අඛණ්ඩ උත්සාහ අවශ්‍ය බවයි. එමෙන්ම, ඉරානයෙන් එල්ල වන තර්ජන තවදුරටත් පවතින බවත්, බාහිර තර්ජනවලින් අමෙරිකාව ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධාන වගකීම බවත් ඔහු අවධාරණය කර තිබේ.

එමෙන්ම, යුද්ධය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කොංග්‍රසයේ අනුමැතිය ලබා ගැනීමට කිසිදු අදහසක් නොමැති බව ට්‍රම්ප් මාධ්‍යයට ප්‍රකාශ කර ඇති අතර, අමෙරිකාවේ යුද බලතල පනත ව්‍යවස්ථා විරෝධී බවටද ඔහු දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

Social Sharing
නවතම පුවත් විදෙස්