
ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම දරන පොලිසිය, මත්ද්‍රව්‍ය ජාවාරම, සන්තකයේ තබාගැනීම සහ සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමේදී දිනපතා දැඩි පීඩනයක් යටතේ කටයුතු කරයි. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් නීත්‍යානුකූලව අත්අඩංගුවට ගෙන, රාජකාරිය අකුරටම ඉටු කිරීම නීතියේ සහ සමාජයේ අපේක්ෂාවයි.
එම වගකීම ඉටු කිරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 54 වැනි වගන්තිය වැනි විධිවිධාන හදිසි තර්ජන වැලැක්වීම සඳහා භාවිතා වේ. එහෙත් නීතියේ පාලනය සැබවින්ම තහවුරු වන්නේ, එම බලතල සාධාරණ සැකයක් සහ සමානුපාතිකතාවයක් මත පදනම්ව යෙදූ විට පමණි.
පසුගිය කාලයේ “සමාජ පිළිල” යනුවෙන් පුද්ගලයන් ලේබල් කර, බොරු චෝදනා මත 54 වැනි වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම් පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වී තිබේ. මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවට මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් ද 54 වැනි වගන්තිය යටතේ බන්ධනාගාරගත කරන බවට දිගින් දිගටම තොරතුරු වාර්තා වේ. නීතිය අනුව මත්ද්‍රව්‍ය පානය යනු ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය අවශ්‍ය සෞඛ්‍යමය ගැටලුවකි මිස, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් විසඳිය යුතු අපරාධයක් නොවේ. එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ගේ පුනරුත්ථාපනයට ඇති අවස්ථාවට බාධා කරන අතර, සිරගෙය තුළ ඔවුන්ගේ තත්ත්වය තවත් උග්‍ර කරයි.
මත්ද්‍රව්‍ය භාවිතය පුද්ගලයාට මෙන්ම සමාජයට ද ඇති කරන හානිය සැලකිල්ලට ගත යුතුය. අඛණ්ඩව මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් ශාරීරික සහ මානසික සෞඛ්‍යය බිඳ වැටෙන අතර, පවුලේ බැඳීම්, රැකියාව සහ සමාජ පිළිගැනීම ක්‍රමයෙන් අහිමි වේ. බොහෝ විට ඇබ්බැහි වූවන් සොරකම්, රැවටීම් සහ අපරාධවලට යොමුවන්නේ තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගැනීමටය. එහි ප්‍රතිවිපාක වන්නේ සමාජයෙන් කොන්වීම, පවුලේ අයගේ පිළිකුලට ලක්වීම සහ අනාගතය සම්පූර්ණයෙන්ම අඳුරු කර ගැනීමයි.
නමුත් සමාජය ද තේරුම් ගත යුත්තේ, ඇබ්බැහි වීම යනු තීරණයක් පමණක් නොවන බවයි. එය සංකීර්ණ මනෝ-සාමාජික රෝගී තත්ත්වයකි. කොන් කිරීම සහ පිළිකුල, ඔවුන්ව තවදුරටත් මත්ද්‍රව්‍ය කරා තල්ලු කරයි. ඒ වෙනුවට, නීතියේ රාමුව තුළ පුනරුත්ථාපන මාර්ග, උපදේශන සහ ප්‍රජා සහයෝගය ලබා දීමෙන්, නැවත සමාජයට එක්වීමට අවස්ථාවක් දිය හැකිය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ පාවිච්චි කරන්නා අතර වෙනස හඳුනා ගැනීම, සාධාරණ නීතිමය ප්‍රතිචාරයක පදනම වේ.
එවැනි තත්ත්වයකට පත් වන පුද්ගලයෙකුට සිදුවන පීඩනය සුළුපටු නොවේ. ඔහු හෝ ඇය, සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ප්‍රචණ්ඩ අපරාධකරුවන් රඳවා තබන පරිසරයකට ඇද දමනු ලැබේ. එහි ඇති මානසික, ශාරීරික සහ සමාජමය බලපෑම අතිවිශාලය.
එම පුද්ගලයාගේ බිරිඳට සහ පවුලේ සාමාජිකයන්ට ද මේ බර දරාගත යුතු වේ. සමාජ අපකීර්තිය, ආර්ථික බිඳවැටීම, දරුවන්ගේ අධ්‍යාපනයට සහ මානසික සෞඛ්‍යයට ඇති බලපෑම, පවුලක අනාගතයම වෙනස් කළ හැකිය. බොහෝ විට මේ බර දරාගත නොහැකිව පවුල් විනාශ වන අවස්ථා ද වාර්තා වේ.
අනෙක් පසින්, නීති විරෝධී ලෙස පුද්ගලයෙකුට පහරදීම, බලහත්කාරයෙන් ප්‍රකාශ ලබා ගැනීම හෝ බොරු චෝදනා ගොනු කිරීම වැනි විෂම ක්‍රියාවකට යොමු වන පොලිස් නිලධාරියෙකුට ද දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 13 වැනි ව්‍යවස්ථා යටතේ එවැනි ක්‍රියා මානව හිමිකම් උල්ලංඝනයන් ලෙස සැලකේ. අදාළ නිලධාරියාට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවේ විනය පරීක්ෂණයක්, අපරාධමය නඩුවක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු විය හැක. ඔප්පු වුවහොත් රැකියාව අහිමි වීම, හිරේ විලංගුවට වැටීම සහ පුද්ගලික වන්දි ගෙවීමට පවා සිදුවිය හැකිය.
මෑත කාලයේදී සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවක් වන්නේ, සැලසුම් සහගතව ජංගම දුරකථනයේ වීඩියෝව ඔන් කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමයි. සාක්ෂි රැස් කිරීමේ අරමුණින් වීඩියෝ කිරීම නීතියෙන් තහනම් නැත. එය පසුව අධිකරණයේදී වැදගත් සාක්ෂියක් විය හැකිය. නමුත් පොලිස් නිලධාරියෙකුගේ මුහුණට කැමරාව දමා, ඔහුගේ කාර්යයට බාධා කිරීම, ප්‍රකෝප කිරීම හෝ මහජනතාවගේ අවධානය ලබාගැනීමේ අරමුණින් ඝෝෂා කිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 183 වැනි වගන්තිය යටතේ “රාජකාරියට බාධා කිරීම” ලෙස සැලකිය හැක. එමගින් අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීම් සහ දඩුවම් වලට තුඩු දිය හැකිය.
එබැවින් වීඩියෝ කිරීමේදී ආරක්ෂිත දුරක් පවත්වාගැනීම, නිලධාරීන්ට බාධා නොකිරීම, සහ සාමකාමීව හැසිරීම අත්‍යවශ්‍ය වේ. වීඩියෝවක ඇති වටිනාකම රැඳී ඇත්තේ එය නීතිමය රාමුව තුළ, වගකීමෙන් ගනු ලැබූ විට පමණි.
පුරවැසියාගේ පැත්තෙන් ද වගකීමක් ඇත. පොලිස් රාජකාරියට බාධා කිරීම, වැරදි තොරතුරු පැතිරීම හෝ අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. අත්අඩංගුවට පත්වන විට කලබල නොවී, නීතිඥයෙකුට දැනුම් දීමේ, නිහඬව සිටීමේ සහ මානුෂීය සැලකිල්ලක් ඉල්ලා සිටීමේ අයිතිය භාවිතා කිරීම වැදගත්ය. කිසිදු ලියවිල්ලකට නොකියවා අත්සන් නොකිරීම සහ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සත්‍යය පැහැදිලිව ප්‍රකාශ කිරීම අසාධාරණයකින් ආරක්ෂා වීමට උපකාරී වේ. ආර්ථික අපහසුතා ඇති අයට ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව මගින් නොමිලේ නීතිමය සහය ලබාගත හැකිය.
අවසානයේදී නීතියේ පාලනය සහ මානව ගරුත්වය යන දෙකම ආරක්ෂා වූ විට පමණක් සැබෑ සාධාරණය ඉටු වේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා ඊට සම්බන්ධ අයට තරාතිරම නොබලා, එයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියා කළ යුතුය. ඒ සමගම, ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර සහ පුනරුත්ථාපනයේ මාර්ගය විවෘත කළ යුතුය. නීතිය යනු බිය ගැන්වීමට නොව, ආරක්ෂා කිරීමට ඇති මෙවලමකි. එය නිවැරදිව සහ වගකීමෙන් භාවිතා කිරීම, ආරක්ෂිත සහ සාධාරණ සමාජයක් ගොඩනැගීමේ පදනම වේ.
සටහන:
තරංග එල්.පටබැදී
