මැදපෙරදිග ගැටුමෙන් ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික බලපෑම් ඇතිවන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් අනතුරු ඇඟවීමක්!

මැදපෙරදිග පවතින මිලිටරි උත්සන්න වීම ගෝලීය වෙළඳාම, බලශක්ති වෙළඳපොළවල් සහ මූල්‍ය පද්ධති අස්ථාවර කරමින් ආසියා-පැසිෆික් කලාපයට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

‘මැදපෙරදිග මිලිටරි උත්සන්න වීම: ආසියාව සහ පැසිෆික් කලාපය පුරා මානව සංවර්ධන බලපෑම’ යන මාතෘකාවෙන් යුත් එම වාර්තාව අනුව, 2025 වසරේදී විදේශ ගත වූ ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් සියයට 80.2ක් මැදපෙරදිග රටවලට ගොස් ඇති බැවින්, ශ්‍රී ලංකාව මෙම ගැටුමෙන් දැඩි ලෙස නිරාවරණය වී ඇති රටක් ලෙස හඳුනාගෙන තිබේ.

බටහිර ආසියාවේ පවතින ගැටුම් තත්ත්වය හේතුවෙන් ආසියා-පැසිෆික් කලාපයේ දරුණුතම බලපෑමට ලක්ව ඇති රටවල් අතර ශ්‍රී ලංකාවද අයත් වන බව එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

එසේම, 2026 මාර්තු 1 සිට 8 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තාවේ සඳහන් වේ. පෙබරවාරි මාසයේ දිනකට සාමාන්‍යයෙන් 9,976ක් ලෙස පැවති සංචාරක පැමිණීම් සංඛ්‍යාව, මාර්තු මුල් සතියේදී දිනකට 5,956 දක්වා පහත වැටී ඇති අතර එය දළ වශයෙන් සියයට 40ක පහත වැටීමක් ලෙස සැලකේ.

දකුණු ආසියානු අසල්වැසි රටවල් වන බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්ථානය මෙන්ම ශ්‍රී ලංකාවද ගල්ෆ් කලාපයට අපනයන සබඳතා දුර්වල වීම හේතුවෙන් ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදුව ඇති බවද වාර්තාවෙන් අනාවරණය කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් රටවල් කිහිපයක ආදායම් අඩුවීම, අත්‍යවශ්‍ය සැපයුම් සඳහා ප්‍රවේශය සීමා වීම සහ නිෂ්පාදන ක්‍රියාවලීන් නතර වීම වැනි ගැටලු උද්ගත විය හැකි බවද එහි සඳහන් වේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයනවල සතියකට ඇස්තමේන්තුගත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 10 සිට 15 දක්වා විය හැකි බවද වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම, ආසියා-පැසිෆික් කලාපයේ සමස්ත වෙළඳ නිමැවුම් පාඩු ඇමරිකානු ඩොලර් බිලියන 97 සිට 299 දක්වා විය හැකි බවත්, එය කලාපයේ මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.3 සිට 0.8 දක්වා සමාන විය හැකි බවත් වාර්තාවෙන් අනාවරණය වේ.

මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත්, ඇඟවුම් කර ඇති රටවල් 14 පුරා මිලියන 8.8කට ආසන්න ජනතාව දරිද්‍රතාවට ඇද වැටීමේ අවදානමක් ඇති බවද එක්සත් ජාතීන්ගේ වාර්තාව අනතුරු අඟවයි.

Social Sharing
නවතම පුවත්