
මාස තුනක කාලයකදී රස පරීක්ෂක වාර්තා ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
මේ අයුරින් ඔහු ප්‍රකාශ කළේ බන්ධනාගාර තදබදය සම්බන්ධව සාකච්ඡා වූ අවස්ථාවේ දීය. ඒ අනුව රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමෙන් බන්ධනාගාරගත රැඳවියන්ට ඇප ලබාදීම ප්‍රමාද වන අතර බන්ධනාගාර තදබදය බරපතළ වීමට මෙය ප්‍රබල සාධකයක් ලෙස බලපා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දීය. එබැවින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙහි සේවා කඩිනම් කිරීමට 50ක කණ්ඩායමක් කඩිනමින් බඳවා ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. තවද එම දෙපාර්තමේන්තුව වෙත 2022 වසරින් පසුව කිසිදු බඳවා ගැනීමක් සිදුකර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන්කරන ආකාරයට ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක පුරප්පාඩු 30ක් පමණ පවතින බවයි.
අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ පැවැති රජයන් විසින් අදූරදර්ශී ලෙස කටයුතු කිරීම හා ඒ ඒ ප්‍රශ්න කෙරෙහි නිසි අවධානය යොමු නොකිරීමත් බන්ධනාගාර පද්ධතියෙහි තදබදය වැඩි වීමට බලපා ඇති එක් කරුණක් බවත් ය. මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් වෙනුවෙන් කටයුතු කිරීමට ඇති පනතක් සඳහා සංශෝධන ගෙන ඒමට ද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
අමාත්‍ය හර්ෂණ නානායක්කාර පිළිතුරු වශයෙන් පවසා ඇත්තේ, “මන්ත්‍රීතුමා මතු කරන කාරණය එක රැයින් ඇතිවූවක් නෙවෙයි. 2005 සිට වගේ ඉඳන් ප්‍රතිපත්තියක් නැතිව ඔහේ යන්න ඇරීම තුළ බොහෝ දේවල් නිර්මාණය වී තිබෙනවා. අපි බලයට පත්වන විටත් 10,500ක් සිටිය යුතු බන්ධනාගාර පද්ධතියෙහි 28,000කට අධික පිරිසක් සිටියා. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිදු කරන කටයුතු හේතුවෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අත්අඩංගුවට පත්වීම වැඩිවී තිබෙනවා. 2022න් පසුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කිසිදු බඳවා ගැනීමක් සිදු කර නැහැ. ඒ වගේම වාහන නැහැ. සම්පත් නැහැ.
2022න් පස්සේ අපි තමයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය අයගෙන් 50ක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ. අවශ්‍ය කාර්ය මණ්ඩලයම නොවුණත් මෙය කළමනාකරණය කරගැනීමේ හැකියාව මෙයින් ලැබෙනවා. මේ පුරප්පාඩු පුරවලා තිබුණා නම්, අපට වැඩේ කරගෙන යන්න තිබුණා. නමුත් අපට සිදු වුණේ මුලින්ම පුරප්පාඩු ටික පුරවන්න. අපේ සැලැස්ම වෙන්නේ මාස 3ක් වැනි කාලයක් තුළ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමයි.
පෙර රජයන් ගෙනා නීතිත් බලපානවා බන්ධනාගාර තදබදය වැඩි වීමට. රස පරීක්ෂක වාර්තා මාස 6ක් හෝ අවුරුද්දක් ප්‍රමාද වුණාම ඇප ලබාදීම තවත් කල් යනවා. ඒ වගේම පෙර රජයන් විසින් මේ ප්රශ්නය නිසි පරිදි කළමනාකරණය නොකිරීම, ප්‍රතිපත්තිමය තීන්දු නොගැනීම, ආදියත් මේකට බලපා තිබෙනවා. ඇබ්බැහි වූවන් බන්ධනාගාරවල තියලා වැඩක් නැහැ. මේ අය සන්තකයේත් බඩු තිබෙනවා.මේ සියල්ල කෙරෙහි අපි අවධානය යොමුකර තිබෙනවා.” යනුවෙනි.
