
යුද සමයේදී එල්ටීටීඊ කඳවුරු සහ ඒ අවට ප්‍රදේශවලින් සොයාගෙන යුද හමුදාව භාරයට ගත් රත්රන් අයිතිකරුවන්ට නැවත ලබාදීම සඳහා අධිකරණ ක්‍රියාවලියක් යටතේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඊයේ (23) අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ අධිකරණ ක්‍රියාවලිය ඉදිරි මාස තුනක පමණ කාලයක් තුළ අවසන් කර රත්රන් නීත්‍යානුකූල අයිතිකරුවන් වෙත නැවත ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේ, මුලතිව් සහ කිලිනොච්චි ප්‍රදේශවල සිදුකළ යුද මෙහෙයුම්වලදී එල්ටීටීඊ කඳවුරු සහ ඒ අවට ස්ථානවල ගබඩා කර තිබූ රත්රන් කිලෝග්‍රෑම් 150කට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවයි.
එම රත්රන්වලින් කොටසක් 2014 වසරේදී අනන්‍යතාව තහවුරු කළ පුද්ගලයින් 2,015 දෙනෙකු වෙත එවකට පැවති රජය විසින් නැවත භාරදී ඇති බවද ඔහු සඳහන් කළේය.
යුද හමුදාව කිසිදු අවස්ථාවක උතුරු හා නැගෙනහිර ජනතාවගේ රත්රන් බලහත්කාරයෙන් ලබාගෙන නොමැති බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ වනවිට අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව අදාළ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව පැවසීය.
රත්රන්වල හිමිකරුවන් සම්බන්ධ සියලු තොරතුරු යුද හමුදාව සතුව නොමැති බවත්, ඒ හේතුවෙන් නීත්‍යානුකූල ක්‍රියාවලියක් යටතේ අයිතිකරුවන් හඳුනාගෙන රත්රන් යළි භාරදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
