රස පරීක්ෂක වාර්තා මාස තුනකින්!

මාස තුනක කාල­ය­කදී රස පරී­ක්ෂක වාර්තා ලබා­දී­මට අවශ්‍ය පිය­වර ගන්නා බව අධි­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

මේ අයුරින් ඔහු ප්‍රකාශ කළේ බන්ධනාගාර තදබදය සම්බන්ධව සාකච්ඡා වූ අවස්ථාවේ දීය. ඒ අනුව රස පරී­ක්ෂක වාර්තා ප්‍රමාද වීමෙන් බන්ධ­නා­ගා­ර­ගත රැඳ­වි­යන්ට ඇප ලබා­දීම ප්‍රමාද වන අතර බන්ධ­නා­ගාර තද­බ­දය බර­ප­තළ වීමට මෙය ප්‍රබල සාධ­ක­යක් ලෙස බලපා ඇති බවත් අමා­ත්‍ය­ව­රයා පෙන්වා දීය. එබැ­වින් රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වෙහි සේවා කඩි­නම් කිරී­මට 50ක කණ්ඩා­ය­මක් කඩි­න­මින් බඳවා ගන්නා බව ද අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය‍. තවද එම දෙපා­ර්ත­මේ­න්තුව වෙත 2022 වස­රින් පසුව කිසිදු බඳවා ගැනී­මක් සිදු­කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන්කරන ආකාරයට ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක පුරප්පාඩු 30ක් පමණ පවතින බවයි.

අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා සඳහන් කළේ පැවැති රජ­යන් විසින් අදූ­ර­දර්ශී ලෙස කට­යුතු කිරීම හා ඒ ඒ ප්‍රශ්න කෙරෙහි නිසි අව­ධා­නය යොමු නොකි­රී­මත් බන්ධ­නා­ගාර පද්ධ­ති­යෙහි තද­බ­දය වැඩි වීමට බලපා ඇති එක් කරු­ණක් බවත් ය. මත්ද්‍රව්‍ය වැර­දි­ව­ලට සම්බන්ධ වූවන් වෙනු­වෙන් කට­යුතු කිරී­මට ඇති පන­තක් සඳහා සංශෝ­ධන ගෙන ඒමට ද අපේක්ෂා කරන බව අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කර ඇත.

අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර පිළිතුරු වශයෙන් පවසා ඇත්තේ, “මන්ත්‍රී­තුමා මතු කරන කාර­ණය එක රැයින් ඇති­වූ­වක් නෙවෙයි. 2005 සිට වගේ ඉඳන් ප්‍රති­ප­ත්ති­යක් නැතිව ඔහේ යන්න ඇරීම තුළ බොහෝ දේවල් නිර්මා­ණය වී තිබෙ­නවා. අපි බල­යට පත්වන විටත් 10,500ක් සිටිය යුතු බන්ධ­නා­ගාර පද්ධ­ති­යෙහි 28,000කට අධික පිරි­සක් සිටියා. මත්ද්‍රව්‍ය නිවා­ර­ණය වෙනු­වෙන් සිදු කරන කට­යුතු හේතු­වෙන් මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූවන් අත්අ­ඩං­ගු­වට පත්වීම වැඩිවී තිබෙ­නවා. 2022න් පසුව රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට කිසිදු බඳවා ගැනී­මක් සිදු කර නැහැ. ඒ වගේම වාහන නැහැ. සම්පත් නැහැ.

2022න් පස්සේ අපි තමයි රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට අවශ්‍ය අය­ගෙන් 50ක් බඳවා ගැනී­මට කට­යුතු කර­මින් සිටින්නේ. අවශ්‍ය කාර්ය මණ්ඩ­ල­යම නොවු­ණත් මෙය කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නීමේ හැකි­යාව මෙයින් ලැබෙ­නවා. මේ පුර­ප්පාඩු පුර­වලා තිබුණා නම්, අපට වැඩේ කර­ගෙන යන්න තිබුණා. නමුත් අපට සිදු වුණේ මුලින්ම පුර­ප්පාඩු ටික පුර­වන්න. අපේ සැලැස්ම වෙන්නේ මාස 3ක් වැනි කාල­යක් තුළ රස පරී­ක්ෂක වාර්තා නිකුත් කිරී­මයි.

පෙර රජ­යන් ගෙනා නීතිත් බල­පා­නවා බන්ධ­නා­ගාර තද­බ­දය වැඩි වීමට. රස පරී­ක්ෂක වාර්තා මාස 6ක් හෝ අවු­රු­ද්දක් ප්‍රමාද වුණාම ඇප ලබා­දීම තවත් කල් යනවා. ඒ වගේම පෙර රජ­යන් විසින් මේ ප්‍රශ්නය නිසි පරිදි කළ­ම­නා­ක­ර­ණය නොකි­රීම, ප්‍රති­ප­ත්ති­මය තීන්දු නොගැ­නීම, ආදි­යත් මේකට බලපා තිබෙ­නවා. ඇබ්බැහි වූවන් බන්ධ­නා­ගා­ර­වල තියලා වැඩක් නැහැ. මේ අය සන්ත­ක­යේත් බඩු තිබෙ­නවා.මේ සියල්ල කෙරෙහි අපි අව­ධා­නය යොමු­කර තිබෙ­නවා.” යනුවෙනි. 

 

Social Sharing
නවතම පුවත්