
තම පාසලේ පස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ විදුහල්පතිවරයෙකු ජුලි මස දෙවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර මහතා 20දා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූයේ කොස්ලන්ද කැලිපනාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකි. හෙතෙම පනස් හය හැවිරිදි වියෙහි පසුවන දෙදරු පියෙකි.
පාසලේ ඉගෙනුම ලබන මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විදුහල්පතිවරයා විසින් පාසල් කාලයෙන් පසුව අමතර පන්තියක් පවත්වා ගෙන ගොස් ඇති අතර 18 වැනිදා පන්තියට පැමිණි සිසු සිසුවියන් අතර සිටි ශිෂ්‍යාවක් පන්තියේ පිටුපසට කැඳවාගෙන ගොස් ලිංගික අතවර සිදු කර තිබේ. සිද්ධිය පිළිබඳව දැරිය විසින් දෙමව්පියන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ඕ.සී. සුභසිංහ මහතා සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
උපුටා ගැනීම දිනමිණ
