කොළඹ විශ්වවිද්‍යාලයේ විභාග දූෂණ චෝදනා ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!

කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැම් විභාග සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා ඇගයීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතළ දූෂණ හා අක්‍රමිකතා චෝදනා එල්ලවීමත් සමඟ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ ලිඛිත පැමිණිල්ලක් සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුවය.

සිසුන්ගේ පැමිණිල්ල අනුව, ඇතැම් ආචාර්යවරුන් තමන්ට හිතවත් සිසුන් වෙත විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර හෙළිදරව් කිරීම, මුදල් ලබාගෙන ලකුණු ප්‍රදානය කිරීම සහ අනිසි ඉල්ලීම්වලට එකඟ නොවන සිසුන් විභාගවලින් අසමත් කර පළිගැනීම වැනි චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම විභාග පැවැත්වීම, කණ්ඩායම් ව්‍යාපෘති ඇගයීම සහ ලකුණු ලබාදීම සඳහා පවතින නිල රෙගුලාසි උල්ලංඝනය කරමින් ඇතැම් ආචාර්යවරුන්ගේ අභිමතය පරිදි කටයුතු කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.

තවද, විභාග අසමත් කළ සිසුන් පිරිසක් විරෝධය පළ කිරීමෙන් පසු ඔවුන් යළි සමත් කරමින් ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිකුත් කර ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

මෙවැනි බරපතළ චෝදනා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල බලධාරීන් වෙත මීට පෙර පැමිණිලි ඉදිරිපත් කළද, ඒවා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් නොපවත්වා අදාළ සිසුන්ට උපාධි ප්‍රදානය කර ඇති බවටද පැමිණිලිකරුවන් සාක්ෂි සහිතව පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ අදහස් ලබාගැනීම සඳහා උපකුලපති කාර්යාලය සහ ලේඛකාධිකාරී කාර්යාලය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි වූ බව වාර්තා වේ.

අල්ලස් කොමිසම පවසන්නේ සිද්ධියට අදාළ ලේඛන සහ සාක්ෂි කැඳවමින් වැඩිදුර විමර්ශන කටයුතු කඩිනමින් සිදුකරන බවයි.

Social Sharing
නවතම පුවත්