‘ලාංකික දෙමළ සරණාගතයින්ට ඉන්දියාවේ පුරවැසිභාවයයි ඡන්ද අයිතියයි දෙන්න’ – PMK නිර්මාතෘ

දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි  සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන ලෙස පට්ටලි මක්කල් කට්චි (PMK) පක්ෂයේ නිර්මාතෘ එස්. රාමදෝස් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා.

ඔහු පවසන්නේ මෙම සරණාගතයන්ගෙන් බොහෝ දෙනෙකු ඉන්දියාවේම ඉපිද ඇති, දෙමළ සරණාගතයින් වන බවයි.

1983 දී ශ්‍රී ලංකාවේ ඇති වූ සිවිල් යුද්ධයෙන් පසුව නිවාස හා ජීවනෝපාය අහිමි වූ ලක්ෂයකට අධික ශ්‍රී ලංකා දෙමළ ජනතාවක් තමිල්නාඩුවට සංක්‍රමණය වූ බව රාම්  සිය ප්‍රකාශයෙන් සඳහන් කළා.

2009 දී යුද්ධය අවසන් වූ පසුව පවා, තවත් දහස් ගණනක් දිගින් දිගටම ඉන්දියාවේ රැකවරණය පැතූ බව ඔහු සඳහන් කරනවා.

අද වන විට, ලාංකික දෙමළ ජනතාව ලක්ෂයක් පමණ තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 116 ක් පුරා විසිරී සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම සරණාගතයින් දශක ගණනාවක් ඉන්දියාවේ ජීවත් වුවද, ඔවුන්ට නිදහස් පුරවැසියන් ලෙස ජීවත්වීමට තවමත් අවසර නොලැබෙන බව ඔහු පෙන්වා දෙනවා.

තමිල්නාඩුවේ උපත ලබා අධ්‍යාපනය ලැබූ තරුණ පරම්පරාව මූලික අයිතිවාසිකම් අහිමිව සිටින බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කර ඇතත්, රජයේ රැකියා සඳහා අයදුම් කිරීමට නීතිමය බාධා පවතින බවත් ඔහු සඳහන් කළා.

ඔවුන්ගෙන් බහුතරයක් ජීවත් වන්නේ අවම වැටුපක් සඳහා දෛනික වේතන ශ්‍රමිකයන් ලෙස සේවය කිරීමෙන් බව සඳහන්.

ඔවුන්, ඉන්දීය පුරවැසියන්ට ලබාදෙන සුබසාධන ප්‍රතිලාභ කිහිපයකින් ද බැහැර කර තිබෙනවා.

රාම් තවදුරටත් සඳහන් කළේ, නේපාලයෙන් සහ භූතානයෙන් පැමිණි සරණාගතයින්ට රජයේ රැකියා සඳහා අයදුම් කිරීමට අවසර දී තිබුණද, දෙමළ සහෝදර සහෝදරියන්ට එවැනි අවස්ථා ප්‍රතික්ෂේප කර ඇති බවයි.

සරණාගත කඳවුරු තුළ පවතින ඉඩකඩ සීමා කිරීම් ද ඔහු හෙළිකරනවා.

දශක ගණනාවකට පෙර ඔවුන්ට වෙන් කරන ලද කුඩා ඉඩම් කොටස් තුළම පවුල්වලට ජීවත්වීමට බල කෙරී ඇති බවත් පවුල් පුළුල් වන විට, ඔවුන්ට එවැනි සීමිත ප්‍රදේශවල ගෞරවාන්විතව දිගටම ජීවත් විය හැක්කේ කෙසේදැ? යි ඔහු ප්‍රශ්න කරනවා.

කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු වෙනත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකා දෙමළ ජනතාවට පුරවැසිභාවය ලබා දී තිබුණද, ඉන්දියාව එසේ කර නැහැ.

ඊට හේතුව ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සරණාගත සම්මුතියට අත්සන් කර නොතිබීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉන්දියාවේ සිටින සරණාගතයින්ට සහාය දිය නොහැකි බව සඳහන්. වහාම ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටි රාම්දෝස් මෙසේ ද පැවසුුුවා. “තමිල්නාඩුවේ දැනට ක්‍රියාත්මක වන ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය, ප්‍රාන්තයේ වෙසෙන දෙමළ ජනතාවට ඡන්ද අයිතිය ලබා දීමට අවස්ථාවක් ලෙස භාවිතා කළ යුතුයි. ඔවුන්ට ඡන්ද අයිතිය ලැබුණහොත් පමණක්, තේරී පත් වූ නියෝජිතයින් ඔවුන්ගේ සුබසාධනය සඳහා කටයුතු කරනු ඇති බවත් මධ්‍යම රජය මෙම දෙමළ ජනතාවට ඉන්දියාවේ නීත්‍යානුකූල පුරවැසියන් ලෙස නිදහසේ සහ ගෞරවාන්විතව ජීවත් වීමට සහතික විය යුතු බවත්” ඔහු අවධාරණය කරනවා.

https://hirunews.lk/429211/give-indian-citizenship

Social Sharing
නවතම පුවත්