ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ හිඟ වැටුප් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ගාල්ලේදී විශේෂ සාකච්ඡාවක්!

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ “ඇසිදිසි පියවර” ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය සමුළුව පසුගියදා ගාල්ල හෝල් ඩි ගෝල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම වැඩසටහනට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා එක්ව සිටි අතර, එහිදී අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ විධායක සභික හා ප්‍රමුඛ ජනමාධ්‍ය සංගමයේ සභාපති කමල් විජේහේවා මහතා සමස්ත ප්‍රාදේශීය මාධ්‍යවේදීන් නියෝජනය කරමින් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කළේය.

මෙරට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් මේ වන විට බරපතළ ආර්ථික හා වෘත්තීය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන් ඔහු, පසුගිය කාලය තුළ මුද්‍රිත මාධ්‍ය ආයතන රැසක් වසා දැමීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට හිමි වැටුප් සහ සේවක ප්‍රතිලාභ ගණනාවක් අහිමි වී ඇති බව සඳහන් කළේය.

විශේෂයෙන්ම මව්බිම පුවත්පත ඇතුළු වසා දැමූ සියලු මාධ්‍ය ආයතනවලින් මාධ්‍යවේදීන්ට ගෙවීමට ඇති හිඟ වැටුප් පිළිබඳ නිවැරදි ලේඛනයක් කඩිනමින් සකස් කර, ඒ අනුව ඔවුන්ගේ නීත්‍යානුකූල හිමිකම් ලබාදීමට රජය මැදිහත් විය යුතු බව ඔහු ඉල්ලා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, අදාළ තොරතුරු රැස් කර අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට කටයුතු කරන බවට පොරොන්දු වූ බවද සඳහන් විය.

සමුළුවෙන් අනතුරුව පැවති පෞද්ගලික සාකච්ඡාවකදීද, වෘත්තීය ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු, සේවා සුරක්ෂිතභාවය සහ මෙරට මාධ්‍ය ආයතන එකින් එක වසා දැමීමට හේතු වන කරුණු පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඒවාට තිරසාර විසඳුම් සෙවීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍ය බව අවධාරණය කර තිබේ.

Social Sharing
නවතම පුවත්