ජුනි මාසයේ සිට අවදානම් කාණ්ඩයේ ප්‍රතිලාභීන් 425,000 දෙනෙකුට අස්වැසුම දීමනා ගෙවීම් නතර කෙරේ!

ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ දීමනා ගෙවීම් සිදුකරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

2023 වසරේ ආරම්භ කළ අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.

අස්වැසුම වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ කාණ්ඩ හතරක් යටතේ ලක්ෂ 16කට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලබාගෙන තිබුණි. එහෙත් 2025 අප්‍රේල් මාසයේදී සිව්වන කාණ්ඩය වන සංක්‍රාන්තික කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 315,000 දෙනෙකුගේ දීමනා නතර කර තිබේ.

ඊට අමතරව, තෙවන කාණ්ඩය වන අවදානමට ලක්වූ කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 425,000 දෙනෙකුට ජුනි මාසයේ සිට අස්වැසුම දීමනා ගෙවීම්ද නතර කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම කාණ්ඩ දෙකේ සිටින පවුල් අතර දුප්පත් හෝ අන්ත දිළිඳු තත්ත්වයට පත්ව සිටින පවුල් ඇත්නම්, ඔවුන්ට නැවත අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්