
ජාතික පොලිස් කොමිසම (NPC) විසින් පොලිස් නිලධාරීන්ට අදාළ ස්ථාන මාරුවීම්, උසස්වීම් සහ අනෙකුත් කටයුතු සඳහා වන බලය පොලිස්පතිවරයා (IGP) වෙත පැවරීමෙන් පසුව පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථනාධිපතිවරු 20 දෙනෙක් ඇතුළු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 32 වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊට අදාළ නියෝගය ඊයේ (06) සවස නිකුත් කර ඇති බව වාර්තා වේ. මෙම ස්ථාන මාරුවීම් හමුවේ පොලිස් ස්ථානාධිපති ධුර දැරූ නිලධාරීන් 10 දෙනකුට ස්ථානාධිපති ධුර අහිමි වී තිබේ. ස්ථානාධිපතිවරු 10දෙනකුට නව ස්ථානාධිපති ධුර හිමිව ඇත. එසේම නිලධාරීන් 12දෙනකුට නව පොලිස් ස්ථාන හිමිව තිබේ. ස්ථාන මාරුවීම් ලද නිලධාරීන්ගෙන් 26 දෙනෙක්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ය.
මේ අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලබාදුන් පොලිස්පතිගේ WhatsApp අංකයට මේ වන විට පැමිණිලි සංඛ්‍යාව 8,000 ඉක්මවා ඇති බව සඳහන් වේ. ඒ අනුව, එම පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරන අතර එලෙස ලැබුණු පැමිණිලි අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කර පසු විපරම් කරන බව පොලීසිය සඳහන් කරයි.
මහජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති විසින් 071- 8598888 යන WhatsApp අංකය හඳුන්වා දී තිබුනි.

