
සමාජ මාධ්‍ය පළ කිරීම්, ප්‍රකාශ, විවරණ හෝ නඩු ප්‍රතිඵල පිළිබඳව යූටියුබර්වරුන් විසින් කරනු ලබන අනාවැකි ඔස්සේ බලපෑම් කිරීමට දරන උත්සාහයන් හේතුවෙන් සිදුවිය හැකි, බාහිර තර්ජන හෝ මැදිහත්වීම්වලින් අධිකරණය ආරක්ෂා කර සුරැකීම සඳහා අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධ දණ්ඩනීය විධිවිධාන අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(ඇ)(1) සහ (2) වගන්ති කෙරෙහි අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නිවේදනය කරයි.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කරුණු පිළිබඳව සමාජ මාධ්‍ය සහ අනෙකුත් වේදිකාවල දක්නට ලැබෙන අදහස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිවේදනයෙහි මෙසේ දැක්වේ.
එවැනි ක්‍රියාවන් මගින් නීතියේ ආධිපත්‍යය අඩපණ කරන අතර, නීතියේ නිසි ක්‍රියාවලියට තර්ජනයක් වෙමින් යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසයට බලපෑම් කිරීමේ විභවයක් එහි ඇති බව ද, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් විසින් නීතියේ ආධිපත්‍යය, නිසි ක්‍රියාවලිය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස සෑම විටම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.
