ජාතික ධීවර යාත්‍රා සංගණනය අදින් ඇරඹෙයි!

ජාතික ධීවර යාත්‍රා සංගණනය අද (04) දින පානදුර ධීවර වරායෙන් ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසා සිටියි. මෙම සංගණනය වසර 10කට පමණ පසු මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වන බවට වාර්තා වේ.

මෙරට වෙරළ තීරයේ පවතින 50,000ක් පමණ වන ධීවර යාත්‍රා පිළිබඳව යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම මෙම සංගණනයේ  ප්‍රධාන අරමුණ වන අතර එහිදී සක්‍රීය ධීවර යාත්‍රා හඳුනාගැනීම, භාවිතයේ නොයෙදෙන සහ අබලන් වූ යාත්‍රා වෙරළ තීරයෙන් ඉවත් කර “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහාය වීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට දායකවීම සහ ධීවර මෙහෙයුම් බලපත්‍ර ක්‍රමවත් කිරීම මෙම ධීවර යාත්‍රා සංගණනයේ දී සිදුකිරීමට නියමිතව පවතින බව අමාත්‍යංශය සඳහන් කරයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සෑම ධීවර තොටුපළකටම පැමිණ, යාත්‍රා පරීක්ෂා කර විශේෂ ස්ටිකරයක් ඇලවීම ද මෙම සංගණනය කාලයේ දී සිදුකරනු ඇත. තවද සංගණනයෙන් රැස්කරගන්නා තොරතුරු මත ලබන වසරේ සිට, ධීවර යාත්‍රා මෙහෙයුම් බලපත්‍ර සහ අනෙකුත් සියලුම සහන සේවා කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

මෙමඟින් රටේ ධීවර යාත්‍රා පිළිබඳ යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර, සංගණනයට ඉදිරිපත් නොවන යාත්‍රාවල මෙහෙයුම් බලපත්‍ර අලුත් නොකිරීමටද තීරණය කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

Social Sharing
අවකාශය නවතම