“සමහර රැඳවියො අවුරුදු 28ක්, 30ක් තිස්සෙ සිරගතව ඉන්නවා. එක්කෙනෙකුට අවුරුදු 93ක සිර දඬුවමක් පනවලා තිබෙනවා. මටත් එහෙම බරපතල දඬුවමක් ලැබෙයි කියලා මං බයේ හිටියෙ.” මෙසේ අප සමග පැවසුවේ වසර 15ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට නඩු පැවරීමකින් තොරව නිදහස් කරන ලද පුද්ගලයෙකි.
ඔහු වැනි පුද්ගලයන් 4,100ක් පමණ 2009දී යුද්ධය අවසන් වීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අතරින් 3,000කට වැඩි පිරිසකට නඩු පැවරුවේ නැත. තවත්, 1,700කට වැඩි පිරිසක් නඩු පැවරීමකින් තොරව පුනරුත්ථාපනයට යොමු කර තිබේ. මිට අමතරව 2024 නොවැම්බර් මාසයේ සිදුවූ ආරුගම්බේ සිදුවීමට සහ 2024 දෙසැම්බර් මාසයේ සිදුවූ මහා විරු සැමරුමට අදාලව සැකකරුවන් වූ පුද්ගලයන්ද මෙම ත්‍රස්ත විරෝධි පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
ලෝකයටම බලපා තිබෙන පොදු ගැටලුවක්
ත්‍රස්තවාදය දේශ සීමාවලින් තොරව ලෝකයටම බලපා තිබෙන පොදු ගැටලුවකි. දේශපාලන හෝ සමාජීය අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා රජය, සිවිල් පුද්ගලයන්, දේපළ යනාදියට එරෙහිව බලය සහ ප්‍රචණ්ඩත්වය නීති විරෝධී ලෙස භාවිතා කිරීම ත්‍රස්තවාදය ලෙසට ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් නිර්වචනය කර තිබේ.
ඇමෙරිකාවේ පෙන්ටගනයට එල්ල වූ “සැප්තැම්බර් 11 ප්‍රහාරය” හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් War Against Terror යන පාඨය යටතේ දැඩි ත්‍රස්ත මර්දන ක්‍රමෝපායන් භාවිතා කරන්නට යෙදුණි. ඒ අනුව යමින් බොහෝ රටවල් විසින්ද එතෙක් තහනම් නොකර තිබු ඇතැම් සංවිධාන පවා ත්‍රස්තවාදී සංවිධාන ලෙසට නම්කර තහනමට ලක්කරමින් ත්‍රස්තවාදයට එරෙහිව විශාල ක්‍රියාත්මක වීමක් වූ බව දක්නට ලැබිණි. මෙහිදී රටවල් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමට අදාළව නීති රීති ගෙන ඒමේදී මානව හිමිකම් රකිනුයේ කෙසේද යන්න ගැන යම් යෝජනාවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු අතර, රටවල් විසින් ත්‍රස්තවාදය වැළැක්වීම සිදුකරන අතරම මානව හිමිකම් රකිනුයේ කෙසේද (Protecting Human Rights While Countering Terrorism) යන්න සොයා බැලීම සඳහා විශේෂ නියෝජිතවරයෙක්ද පත්කර තිබේ.
ශ්‍රී ලංකාවේ වසර 40 කට වැඩි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් දිගු කලක් තිස්සේ බැට කෑ රටවල් ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටකි. වර්ෂ 1983 සිට 2009 දක්වා දශක දෙකකට අධික කාලයක් ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකික ජනතාවට එරෙහිව කටයුතු කළහ. යුද්ධය අවසන් වුවද, 2019 පාස්කු ප්‍රහාරයත්, 2024 ආරුගම්බේ සිදුවීමත් ත්‍රස්තවාදය ගැන ශ්‍රී ලාංකිකයන් තුළ යළි බිය සැක ඇතිකරලීමට හේතු වූ සිදුවීම්ය.
1979 වසරේදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ එවකට රටෙහි පැවැති විවිධ කැරළි කෝලාහල සහ අනෙකුත් ත්‍රස්තවාදි ක්‍රියාවන්ට එරෙහිව සටන් කරමින් ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින්ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ඒමේදී එය තාවකාලිකව ගෙන එන පනතක් ලෙස ක්‍රියාත්මක වීමට අදහස් කළද, 1982 දී එය ස්ථිර නීතියක් බවට පත්විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ අරමුණින් පනත ගෙනැවිත් වසර 4 කට පසු එනම් 1983 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයක් ඇරඹුණු අතර එය දශක 2කටත් අධික කාලයක් ලක් පොළව ලෙයින් තෙත් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 40 කට වැඩි කාලයක සිට මේ දක්වා ක්‍රියාත්මක වෙමින් තිබේ. සිවිල් යුද්ධය අතරතුර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විශාල වශයෙන් භාවිතා කරන ලද අතර 2009 යුද්ධය අවසන් වූ පසුවත් එම පනත දිගටම භාවිතා විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ මුල් පනත් කෙටුම්පතේ අන්තර්ගතය නිර්මාණය කිරීමේදී ඕස්ට්‍රේලියාවේ අපරාධ සහ ජාත්‍යන්තර ආරක්‍ෂිත පුද්ගලයන් සමබන්ධ පනත (1976), මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 12 වැනි වගන්තිය, අයර්ලන්ත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත යනාදී විදේශීය නීතිද පදනම් කරගෙන තිබුණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳව මෑතක සිට කතා බහට ලක් විය. වසර 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව වර්ෂ 2017 දී ප්‍රතිත්‍රස්ත පනත (Counter Terrorism Act) නමින් PTA පනතට ආදේශ කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගෙන ආවේය. එම කෙටුම්පත සඳහා සිවිල් සංවිධානවලින් එල්ල වුයේ බලවත් විරෝධයකි. ඒ අනුව එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම අත්හැරීමට රජයට සිදුවිය.
2022 දී බලයට පැමිණි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විසින් ත්‍රස්ත විරෝධී පනත (Anti terrorism Bill) නමින් නව පනතක් ගෙන ඒමට කටයුතු කළ අතර මේ වන විට එල්ල වී තිබෙන දැඩි විරෝධය හමුවේ එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම වැළකි තිබේ. 2022 දී රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් කරන ලද නව ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පතේ අරමුණ වන්නේ පුද්ගලයන් රඳවා තබා ගත හැකි කාලය අඩු කිරීම සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට වඩා හොඳ අධිකරණ අධීක්ෂණයක් හරහා වැඩි ආරක්ෂාවක් සැපයීමයි.
ඉහත සියලු සංශෝධනයන් හරහා ජනාධිපති, හමුදාව, පොලිසිය යනාදී පාර්ශවයන්ට තවත් බලය එකතු කිරීමක් සිදු වන බැවින් අධිකරණයේ මැදිහත්වීමකින් තොරව පුද්ගලයන්ට බලපෑම් කිරීමේ හැකියාව ඒ හරහා ඔවුනට හිමිවනු ඇත.
සටන් පාඨ
“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කළ යුතුයි, නැතහොත් සංශෝධනය කළ යුතුයි” යන සටන් පාඨය බලයට පැමිණීම සඳහා බොහෝ දේශපාලන පක්ෂ විසින් උපයෝගී කර ගත් සටන් පාඨයක් විය. 2024 දී බලයට පත් වූ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ “පොහොසත් රටක් ලස්සන ජිවිතයක්” හි සඳහන් කර තිබුනේද “ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු මර්දනකාරී අණපනත් අහෝසිකර සියලු ජනතාවගේ නිදහස සහතික කරන බවයි”
එහෙත් ජාතික ජන බලවේගය බලයට පත්වූ පසු සඳහන් කළේ රජය PTA පනත අහෝසි නොකරන අතර අවභාවිතා වීම වළක්වන බවයි (Govt. says will not repeal PTA but prevent misuse) ඒ බව ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (නීති), නීතීඥ ජේ.එම් විජේබණ්ඩාර විසින් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මර්දනකාරී ලක්ෂණ
අධිකරණ ක්‍රියාවලියකින් තොරව PTA පනත හරහා ආරක්ෂක ලේකම්ගේ නියෝගයෙන් පුද්ගලයෙකුව අත්තනෝමතිකව රඳවා තබා ගැනීමේ අවස්ථාව හමුදාවට සහ පොලිසියට ලබා දෙන නිසා, පුද්ගල නිදහස අහිමි කිරීමට මෙම පනත හරහා අවකාශය ලැබී තිබේ. ඒ හරහා පුද්ගලයෙකු වරදක් කළද නොකළද වරද ඔප්පු වීමට පෙර ඊට දඬුවම් ලැබෙන අතර ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නිර්දෝශිභාවයේ පුර්ව නිගමනයද බිඳ වැටීමට ලක්වේ. රඳවාගන්නා සියලුම ආකාරයේ රැඳවියකු අධිකරණයේ අධීක්ෂණයේ විය යුතු විය නමුත් PTA තුළ එය සඳහන් නොවේ. ඒ ආකාරයේ ස්වභාවික යුක්තියේ මූලධර්මවලට යටත් නොවන මර්දනකාරී ලක්ෂණ ගණනාවක් මෙම පනත තුල දැකිය හැකිය.
පනත හරහා ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට (යමෙකු සිරගත කිරීමට) සහ ප්‍රශ්න කිරීමට රජයට බලය ලබා දෙයි. ඒ හරහා පුද්ගලයන්ට අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවී දීර්ඝ කාලයක් සිරගත කිරීමට අවසර දීම, වධහිංසා පැමිණවීම යටතේ ව්‍යාජ පාපොච්චාරණ ලබා ගැනීම, සමහර අවස්ථාවලදී නඩු විභාගයකින් තොරව වසර ගණනාවක් තිස්සේ මිනිසුන් රඳවා තබාගෙන සිටීම, පුද්ගලයන්ව රඳවා තබාගෙන සිටියදී වධහිංසා පැමිණවීම් සහ අපයෝජනයන් පිළිබඳ චෝදනාවලට තුඩු දී තිබේ.
ජාත්‍යන්තර විරෝධය
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට, විශේෂයෙන්ම සාධාරණ නඩු විභාගයකට ඇති අයිතියට බලපාන ආකාරය ගැන ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා මානව හිමිකම් කණ්ඩායම් විසින් විවේචනයට ලක් කර ඇත. ත්‍රස්‌තවාදය වැළැක්වීමේ පනතේ තිබෙන ඉහත ආකාරයේ කරුණු මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන ඉල්ලා ඇත. මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතියක් නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ සමාගම් සඳහා තීරුබදු රහිත ප්‍රවේශය අත්හිටුවන බවට යුරෝපා සංගමය පසුගිය කාලයේ අනතුරු අඟවා තිබුණි.
වසර ගණනාවක සිට තිබූ යුධමය සහ සිවිල් අරගල වැනි ගැටුම්වලින් මේ වනවිට ශ්‍රී ලංකාව ඉවත් වෙමින් සිටින බැවින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් අවශ්‍යද නැතහොත් මානව හිමිකම්වලට වඩා හොඳින් ගරු කිරීම සඳහා එය වෙනස් කළ යුතුද යන්න පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා වෙමින් පවතී.
එක්සත් ජාතීන්ගේ යෝජනා බොහෝ රටවල් ප්‍රතික්ෂේප කරලා
ත්‍රස්තවාදය වැලක්වීමට ගෙන එන නීතිවලින් සිදුවනුයේ මානව හිමිකම් උල්ලංඝනය වීමකි. එහෙත් ත්‍රස්තවාදයේ බිහිසුණු බව නිසාම පොදු මහජන සුභසිද්ධිය උදෙසා ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමද අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. ත්‍රස්තවාදය වැළක්වීමේ අරමුණින් PTA වැනි පනත් සම්මත කලද බොහෝ රාජ්‍යයන් සිය දේශපාලන සතුරන් මර්දනය, වෙනස් අදහස් දරන පාර්ශවයන්, ජනමාධ්‍යවේදීන් මර්දනය වැනි අරමුණු සඳහාද මෙම පනත භාවිතා කල බවක් දැකිය හැකි විය. එබැවින් ත්‍රස්තවාදයට ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය යම් යෝජනා ගෙනවිත් තිබූ අතර වර්තමානයේ බොහෝ රටවල් එම යෝජනා පසෙක ලා අත්තනෝමතිකව කටයුතු කරන බවක් පෙනේ.
PTA නැතුවත් ත්‍රස්තවාදය මඩින්න පුළුවන්
ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය නීති පෙර සිටම ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රමාණවත්ව තිබුණි. ශ්‍රී ලංකාව මෑතකාලීනව අත්සන් කරන ලද ජාත්‍යන්තර සම්මුතීන් වලින් පැමිණි නීතිද ත්‍රස්තවාදය මර්දනයට ප්‍රමානවත්ය. ජාතික බුද්ධි සේවය, ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව, මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යනාදී ආයතන හා බැඳුණු නීතිමය රාමුවද ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් ආරක්ෂාවීම සඳහා ප්‍රමාණවත්ය. එසේ තිබියදීත් ජාතික ආරක්ෂාවට පවා හානියක් ගෙන එන PTA පනත වැනි මර්දනකාරී පනත් තවදුරටත් සක්‍රියව තබා ගැනීම හරහා සිදුව තිබෙනුයේ ප්‍රයෝජනයට වඩා වැඩි හානියකි. ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව වැඩ කිරීම සඳහා නීති සහ ආයතනික රාමුවක් සැකසී තිබියදීත් ත්‍රස්ත විරෝධී පනත වැනි මර්දනකාරී පනත් තවදුරටත් අවශ්‍ය නොවන බව ඇයගේ අදහසයි.
PTA තිබුනා කියා ත්‍රස්තවාදය මර්දනය උනේ නෑ
නීතිඥ නුවන් බෝපගේගේ විග්‍රහයන්ට අනුව: PTA පනත හරහා මාධ්‍යවේදීන්, නීතිඥයන්, සමාජ ක්‍රියාකාරීන් බොහොමයක් දෙනා වින්දිතයන් වූ අවස්ථා තිබේ. මාධ්‍යවේදී තිස්සනායගම් සහ වසන්ත මුදලිගේ සිද්දීන් ඊට කදිම උදාහරණ වේ. ඒ අනුව බලන කළ පෙනී යන්නේ මෙම පනත හරහා ත්‍රස්තවාදය මර්දනය කිරීම පසෙක තබා රජයන්ට සිය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමේ අසීමිත බලයක් ලබා දී ඇති බවයි. PTA පනත සක්‍රීයව තිබියදීත් පාස්කු ප්‍රහාරය වැනි බිහිසුණු ත්‍රස්ථ ප්‍රහාර සිදු වුණි නම් තව දුරටත් මෙම පනත බලාත්මකව තිබීමෙන් ත්‍රස්තවාදය වැලක්වීමට PTA පනත උපකාරී නොවන බව බොහෝ දෙනාගේ මතයයි. ශ්‍රී ලංකාවේ දැනට පවතින නිතිය ත්‍රස්තවාදය මර්දනය කිරීමට ප්‍රමාණවත් බැවින් එම නිතිය හරහා ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි අතර ත්‍රස්තවාදය ඇතිවීමට හේතුවන දුගී බව, අඩු අධ්‍යාපනය වැනි සමාජ ගැටළුවලට විසඳුම් ලබාදීම හරහා වඩා ප්‍රායෝගික ලෙස ත්‍රස්තවාදය මර්දනය කල හැකිය.
භීතිය සහ අවිශ්වාසය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීම වැදගත් වන්නේ සියලුම පුරවැසියන් නීතිය යටතේ සාධාරණ ලෙස සලකන බව සහතික කිරීම සඳහා ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම සහ සමාජ සහජීවනය සඳහා අත්‍යවශ්‍ය බව බොහෝ දෙනා විශ්වාස කරති. මෙය සිදු කිරීමෙන් රජයට වත්මන් නීතියෙන් අසාධාරණ ලෙස ඉලක්ක කර ඇති බවට හැඟෙන ප්‍රජාවන් සමඟ විශ්වාසය නැවත ගොඩනඟා ගත හැකිය. සිවිල් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නම් නීතිය යටතේ සැමට එක හා සමානව සැලකීම වැදගත් වේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් විශේෂයෙන් භීතිය සහ අවිශ්වාසය ඇති කර ඇත.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන පසුව නිදහස් වුවද එම වින්දිතයන්ට ඔවුන් පෙර ගතකළ ජීවිතය නැවත ලැබෙන්නේ නැත. වින්දිතයාගේ පවුලේ අයවලුන් ඇසුරු කිරීමට පවා ඔවුන් වෙසෙන සමාජයේ අනෙකුත් ප්‍රජාව බියක් දක්වනුයේ ඔවුන්ටද අනවශ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදු වෙතැයි බියෙනි. අත්අඩංගුවට පත්වන විට මනා සෞඛ්‍ය සම්පන්නව සිටි බොහෝ වින්දිතයෝ අත්අඩංගුවේ සිටියදී විවිධ වධ බන්ධනයන්ට ලක්ව කායික සහ මානසික ආබාධිත තත්ත්වයන්ට පත් වූවෝ වෙති. රැකියාවක් සොයාගැනීම පවා ඔවුන්ට දුෂ්කර වී තිබෙන අතර එබැවින් බොහෝ ආර්ථික අපහසුතාද අත්විඳිති.
සාක්‍ෂි නොමැතිකම නිසා 2016 දී අධිකරණයක් නිදහස් කරණ ලද, PTA පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවා තබා ගත් තවත් එක් වින්දිතයෙක් සිය අත්දැකීම විස්තර කළේ මෙලෙසිනි. “පොලිසිය මට බලහත්කාරයෙන් පාපොච්චාරණයකට අත්සන් කිරීමට උත්සාහ කළ නමුත් මම එය ප්‍රතික්ෂේප කළ විට මට දරුණු ලෙස පහර දුන්නා. නිලධාරියෙක් මට වෙඩි තබන බවට පවා තර්ජනය කළා. වධහිංසා පැමිණවීම ගැන විනිසුරුවරයෙකුට පැමිණිලි කළ විට මට ඊටත් වඩා පහර දුන්නා.”
කායික හා මානසික අපහසුතාවය
PTA පනත යටතේ අත්අඩංගුවට ගෙන පසුකාලීනව අධිකරණය හරහා නිදොස්කොට නිදහස් වූ පසුවද බොහෝ වින්දිතයෝ ආරක්ෂක අංශ විසින් යළි යළිත් නිරන්තරයෙන් පරීක්ෂාවන්ට භාජනය කරති. ඒ හරහා ඔවුන් නැවත නැවතත් කායිකව හා මානසිකව අපහසුතාවයන්ට පත්වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොකළ වරදකට දඬුවම් විඳි සහ අදටත් දඬුවම් විඳින මේ අහිංසකයන්ගේ හෙට දවස ආලෝකමත් වනුයේ කවදාද? මේ ලැයිස්තුවට තව කොපමණ දෙනෙක් අලුතින් එක් වේවිද යන්න බොහෝ දෙනා නගන ප්‍රශ්නයයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කිරීමෙන් හෝ වඩාත් සමබර නීතියක් නිර්මාණය කිරීමෙන් ශ්‍රී ලංකාවට යහපත් සමාජයක් ගොඩනැගීමට උපකාර කළ හැකිය. ශ්‍රී ලංකාව ජාතික ආරක්‍ෂාව ආරක්‍ෂා කළ යුතු බව පැහැදිලි වුවත් මානව හිමිකම් ආරක්‍ෂා කිරීම ද වැදගත් ය. එනම් ජාතික ආරක්ෂාව මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීමද එකසේ වැදගත්වන බවයි. මානව හිමිකම්ද ආරක්ෂාවන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කිරීම, පවත්වාගෙන යාම හෝ අහෝසි කිරීම යනු ශ්‍රී ලංකාවේ රජය විසින් සියලු පුරවැසියන් කෙරෙහි යුක්තිය සහ සමානාත්මතාවය සඳහා ඇති කැපවීම පෙන්වීමකි.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමට ක්‍රියාත්මක වන අතරම මානව හිමිකම් ද ආරක්ෂා කිරීම සිදු කරමින් ඒ අතර සමතුලිතතාවයක් පවත්වාගෙන යාමට රජයන් ක්‍රියා කිරීම රටක පොදු මහජන සුබ සිද්ධිය උදෙසා ඉවහල්වන ප්‍රධාන කාරණයක් වේ.
මෙම ලිපිය හා බැඳුනු වාර්තාමය වීඩියෝව පහතින්..