තරුණයකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි හසිත ලක්ෂාන් විජේසූරිය යන 21 හැවිරිදි තරුණයාට මේ අයුරින් බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දී ඇති බවට තොරතුරු හෙළි වේ.
මෙම තරුණයා ඉකුත් නොවැම්බර් මස 27 වනදා අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ සිය ඥාති නිවසකට පිටත්ව ගොස් ඇතත් එදින රාත්‍රී වනතුරු ඔහු නැවත නිවසට නොපැමිණ ඇති අතර ඔහුගේ දුරකථනය ද ක්‍රියා විරහිත වී තිබී ඇත. ඊට පසු දින අගුණකොළ පැලැස්ස පොලිසීයෙන් ඇමතුමක් ලැබී ඇති අතර එහිදී පවසා ඇත්තේ මෙම තරුණයා පොලීසියේ සිටින බවත් ඔහුව උසාවියට ඉදිරිපත් කරන බැවින් ඔවුන්ට උසාවියට පැමිණෙන ලෙසයි.
ඔහුගේ ඥාතීන් උදෑසන 11ට පමණ උසාවියට යන අවස්ථාව වනවිටත් එම නඩුව විභාග කිරීමට ආරම්භ කර ඇති අතර දහවල් 2 වන විට එම නඩු විභාගය අවසන් වී ඇත. සිර මැදිරිවල සිටින සැකකරුවන්ට සිය ඥාතීන් සමඟ කතා කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කෙටි කාලයක් ලබා දී ඇති මොහොතක මෙම තරුණයාගේ ඥාතීන් කතා කිරීමට ගිය මොහොතේ ඔවුන්හට බන්ධනාගාර නිලධාරීන් බැණ වැදී ඇති අතර එහිදී ඥාතීන් මෙම තරුණයාට කෑමට කිසිවක් ගෙනත් දෙන්න දැයි විමසූ විට ඔහුට “අද රාත්‍රියේ අපි හොඳට කන්න දෙන්නම්” කියා පවසා මොහුගේ ඥාතීන්ට ද තර්ජනාත්මක ලෙස බැණ එම ස්ථානයෙන් පිටව යන ලෙස පවසා ඇත.
පසුදින එනම් නොවැම්බර් මස 29 වනදා මොහුව බැලීමට ගිය ඥාතීන්ට දැන ගැනීමට ලැබී ඇත්තේ ඔහු 27 වන දා රාත්‍රීයේ බන්ධනාගාරයට සුරුට්ටු විසික් කළා යැයි යන චෝදනාව මත බන්ධනාගාර නිලධාරීන් විසින් මොහුව අගුණකොළපැලැස්ස පොලිසීයට භාර දී ඇති බවත් ඔහුව මේ වනවිට දින 14කට බන්ධනාගාර කළ බවත් එම චෝදනාව මත ඔහුට එදින රාත්‍රී 11 සිට පාන්දර 03 පමණ වනතුරු වරින් වර පහර දුන් බවත් 29 වන දා උදෑසන ද ඔහුට නැවත පහර දී ඇත. මොහුට අතින් පයින් හා කේබල් වලින්ද පහර දී ඇති අතර ඔහුට මේ වනවිට ඇවිදීමේ අපහසුතා ඇති වී ඇත. එමෙන්ම ඔහුට එල්ල කරන ලද පහර දීම් හමුවේ කනෙහි කැක්කුමක් ද ඇති වී ඇත.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔවුන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ගාල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හා අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපතිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිළි කර ඇත.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව අම්බලන්තොට ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.