චීනයේ විශේෂ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් 09 වන දින පැමිණි අතර ඔවුන් අතිවිශේෂ ලෙස ශ්‍රී ලංකා රජය විසින් පිළිගනු ලැබුණි. අනෙකුත් ශ්‍රී ලංකාවට පැමිණෙන රාජතාන්ත්‍රික නියෝජිතයන් සිදු කල යුතු වන්නා වූ නිරෝධායන ක්‍රියාවලියෙන් බැහැරව අති විශේෂ සැලකුම් ලබමින් චීන නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකියාව ලැබීම ඔවුන් කෙරෙහි රජයේ ඇති සැලකිල්ල පෙන්වයි. එමෙන්ම යැංග් ජී චී ඇතුළු චීන ඉහළ පෙළේ නිලධාරීන් පිරිස කොවිඩ් 19 අර්බුදය පැමිණි පසු දකුණු ආසියානු කලාපය වෙත පැමිණි පළමු චීන දූත පිරිසයි. ඔවුන් පැමිණියේ වෙන කිසිදු දකුණු ආසියානු රටකට නොව ශ්‍රී ලංකාවටයි.
ලෝකයම අන්තර්ජාලය භාවිතා කරද්දී මුහුණට මුහුණ හමුවක්
මේ වන විට ලෝකයේ බොහෝ රාජතාන්ත්‍රික හමු අන්තර්ජාලය ඔස්සේ සිදු කරද්දී චීන නියෝජිතයන්ට ලංකා භූමියටම පැමිණ සාකච්ඡා කිරීමට තරම් වැදගත් කරුණ කුමක්ද? මුහුණට මුහුණ හමුවකින් නව රජයේ නායකයනගේ ස්වරූපය දැක ගැනීමේ අවශ්‍යතාවයක් ඔවුනට තිබුණිද? රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ හදාරන්නන් දන්නා ප්‍රධාන කරුණක් නම් මුහුණට මුහුණ හමු වලදී හා ප්‍රිය සම්භාෂණ වලදී අති දක්ෂ රාජතාන්ත්‍රික නිලධාරීන් රජයේ ප්‍රධානීන්ගේ ස්වරූපය සටහන් කරගන්නා බවයි. ඔවුන්ගේ ඇත්ත ස්වරූපය එළි කරගන්නේ එවන් අවස්ථාවලදීය. එය රාජතාන්ත්‍රික ගනුදෙනු වලදී සිදු වන්නක්.
ඉන්දියාව හා ලංකාව අතර ද්වීපාර්ශවීය සාකච්ඡාවක් මෑතකදීම අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් පැවැත්වුනි. ඒ සඳහා ඉන්දියානු අගමැතිවරයාගේ සිට ඉහළ පෙලේ දේශපාලන අධිකාරියත් නිලධාරීනුත් සම්බන්ධ වූ අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ඉහළ දේශපාලන බලවතුන්ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්බන්ධ විය.
මෙම හදිසි චීන සංචාරය යෙදෙනේනේ ඉහත කී ඉන්දියානු හමුව සිදු වී ඉතා කෙටි කලකින්ය. එය අන්තර්ජාලය මතින් නොව මුහුණට මුහුණ හමුවකි. නව ශ්‍රී ලංකා රජය රාජපක්ෂ පවුලේ පෙර පැවැති රජය මෙන් චීනයට අසීමිතව හිතවත් නොවුණු ඇතැයි චීනයට සැක මතු වුනිද? එසේ නොවේ නම් මේ පවතින තත්වය තුළ මුහුණට මුහුණ හමුවක් ඇයි? දේශපාලනික අත්දැකීම් නැති එක්සත් ජනපදයේ පුරවැසියකු ලෙසද කලක් සිටි නව ශ්‍රී ලංකා ජනාධීපතිවරයාගෙන් ඔවුන් කුමක් දකින්නට ඇත්ද? කුමක් සටහන් කරගන්නට ඇත්ද?
ඉන්දියාව සමගත් එක්සත් ජනපදය සමගත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජය ඇයි හොඳයියක් ආරම්භ කර ගන්නට යන බව අපට පෙනී යන සත්‍යයක්. නව රජයේ ප්‍රභලයෙක් වන අමාත්‍ය විමල් වීරවංශ විසින් පාත් ෆයින්ඩර් නම් සංවිධානයත්, එහි ප්‍රධානියා වූ මිලින්ද මොරගොඩ හා සාමාජික අද්මිරාල් ජයන්ත කොළඹගේ යන අය දැඩි විවේචනයට ලක් කලේ ඔවුන් එක්සත් ජනපද ඒජන්තයන් ලෙස කටයුතු කරන බව පවසමින්. නවදිල්ලිය සමගද ඔවුන්ගේ සම්බනධතා විමල් වීරවංශ විසින් ප්‍රශ්න කර ඇත. විමල් වීරවංශ ඇතුළු ජාතික සංවිධාන යැයි කියාගන්නා කණ්ඩායම්හි පසුගිය කාලයේම දැඩි විවේචනයට ලක් වුවේ එක්සත් ජනපදය හා ඉන්දියාව යන රාජ්‍යයන්. මෙම චීන දූත පිරිස පැමිණීමට පෙර සිදු වූ වැදගත් කරුණු දෙකක් නම් එකී අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විදේශ ලේකම් ධූරයටත්, මිලින්ද මොරගොඩ මහතා ශ්‍රී ලංකාවට අතිශයින් සුවිශේෂී නවදිල්ලියේ මහකොමසාරිස් ලෙසත් පත් කිරීමයි.
මේවා මේ ආකාරයට සිදු වන්නේ ඇයිද යන්න චීනයට නොතේරෙනවා නොවේ. ඔවුන් මේ සම්බන්ධයෙන් හොඳින්ම අවදි වී ඇත. විශේෂයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය මේ තත්වය ගැඹුරින් සාකච්ඡා කර ඇතිවාට සැක නැත. භූගෝලීයව හා මූලෝපායිකව අතිශයින් වැදගත් ශ්‍රී ලංකාවේ අදිසි පාලනය අතහැරීමට චීනය සූදානම් නැත. මේ හදිසි මුහුණට මුහුණ සාකච්ඡා සිදු වූයේ අලුත් නායකයන්ගේ මෙන්ම චීන හිතවාදී පැරණි නායකයන්ගේද වත්මන් තත්වය පරීක්ෂා කිරීමට විය නොහැකිද?
කවුද මේ යැංග් ජීචී
චීන නියෝජිත පිරිස පැමිණියේ යැංග් ජීචී නම් චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයාගේ ප්‍රධානත්වයෙනි. චිනයේ පාලනය සිදු කරගෙන යනු ලබන්නේ කොමියුනිස්ට් පක්ෂය මුල් කර ගෙන වන අතර එහි දේශපාලන මණ්ඩලයට අතිශයින් වැදග් තැනක් රාජ්‍ය පාලනයේදී හිමි වෙයි. සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී පැවසූ පරිදි යැංග් ජීචී චීන දේශපාලන මණ්ඩලයේ දෙවැනියා වගේ සිටින අයෙක් වන අතර ඔහු චිනයේ අතිශයින් බලවත් අයෙකි. චීන ජනාධිපති ෂී ජින් පින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාය.
යැංග් ජීචී කලක් චීනයේ විදේශ ඇමතිවරයා ලෙස වර්ෂ 2007 සිට 2013 දක්වා කටයුතු කල අතර වර්ෂ 2007 සිට 2013 වකවානු වලදී පැවති රාජපක්ෂ ආණ්ඩුවට ජාත්‍යන්තර තලයේ අත්‍යවශ්‍ය සහයක් ඔහු විසින් ලබා දෙන ලදී. විශේෂයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී රාජපක්ෂ ආණ්ඩුව අනතුරට ලක් වී හුදකලා වූ අවස්ථාවේදී සහයට හිටි චීනයේ එවක විදේශ ඇමති මේ යැංග් ජීචීය.
අද මේ යැංග් ජීචී වීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මන්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධානියකු වන අතර ඔහුගේ ප්‍රධාන විශය පථය වන්නේ එක්සත් ජනපද – චීන සම්බන්ධතායි.
එසේ නම් මේ එක්සත් ජනපද – චීන සම්බන්ධතා පිළිබඳ චීන නියෝජිතයා ශ්‍රී ලංකාවට හදිසියේ ගොඩ බසින්නේ ඇයි?
යැංග් ජීචී මීට පෙර ග්‍රීසියට හා ස්පාඥයට සංචාරය කළේය. ග්‍රීසිය විශේෂයෙන් චීනයේ කිට්ටු හිතවතෙකි. ග්‍රීසියේ හිටපු අගමැති ඇලෙක්සිස් ට්සිප්රාස් යටතේදී ග්‍රීසිය යුරෝපය තුළ චීනයේ විශ්වාසවන්තම සගයා ලෙස චීන ජනපති ෂි ජින් පින් නම් කර තිබුණි. ග්‍රීසියේ දරුණු ආර්ථික අර්බුදයත් සමග ග්‍රීසියට චීන ආයෝජන අත්‍යවශ්‍ය වී තිබුණි. නමුත් පසුගිය මැතිවරණයේදී ග්‍රීසියේ බලය හිමි කර ගත් හාවඩ් උපාධිධාරියකු වූ කිරියාකෝස් මිට්සොටාකිස් ගේ ජයග්‍රහණයත් සමග එක්සත් ජනපදයට ග්‍රීසිය සමග සම්බන්ධකම් තර කර ගැනීමට අවස්ථාව ලැබුණි. (https://www.scmp.com/news/china/article/3099636/top-chinese-diplomat-yang-jiechi-visit-greece-and-spain-week) යැංග් ජීචී ග්‍රීසියට හදිසියේ ගියේත් වර්ධනය වුනු මේ තත්වය තුළය. යැංග් ජීචී ගේ විෂය පථය එක්සත් ජනපද – චීන සම්බන්ධතාය.
කලාපීය දේශපාලන තත්වය හා හදිසි සංචාරය
යැංග් ජීචීගේ හදිසි ශ්‍රී ලංකා සංචාරය සිදු වන්නේ ඉන්දු – චීන සම්බන්ධතා බරපතළ ලෙස බිඳ වැටී ඇති අවස්ථාවකදී මෙන්ම එක්සත් ජනපද චීන සම්බන්ධතා තුළද යම් ආතතියක් නිර්මාණය වී ඇති අවස්ථාවක බව මේ සංචාරය පිළිබඳව ඉන්දියාවේ ද හින්දු පුවත්පතට වාර්තාවක් සපයමින් මීරා ශ්‍රීනිවාසන් පවසයි. එකී වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම සංචාරය සිදුවන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හා ශ්‍රී ලංකා අගමැති රාජපක්ෂ සමග සිදු වූ අන්තර්ජාල මාර්ගිත හමුවට සති දෙකක් වැනි කාලයක පසුව මෙන්ම එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් ඉන්දු – චීන සම්බන්ධතා මත ගොඩ නැගී ඇති කලාපීය ආතතිය ගැන ජපානයේ ටෝකියෝ නුවරදී සඳහන් කිරීමෙන් දින කිහිපයකට පසුව බවයි.
එමෙන්ම ඔක්තෝබර් මුල් සතියේදී එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය චීනය විසින් ලංකාව තුළ සිදු කරනු ලබන ආයෝජන ව්‍යාපෘති පිළිබඳ බරපතළ විවේචනයක් සිදු කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය හා චීන තානාපති කාර්යාල අතරද යම් ආතති තත්වයක් මතුවුනු බවත් එකී වාර්තාවේ දක්වයි. මෙම සංචාරය සිදු වන්නේ ශ්‍රී ලංකාව තුළද එක්සත් ජනපද හා චීන රාජතාන්ත්‍රිකයන් අතරත් යම් ආතති තත්වයක් ඇති වී ඇති පසුබිමකයි. (https://www.thehindu.com/news/international/high-powered-chinese-delegation-visits-sri-lanka/article32806216.ece)
ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් දැඩි අර්බුදකාරී තත්වයක සිටින අතර මූඩී ශ්‍රේණිගත කිරීම් වලින්ද ශ්‍රී ලංකාව පහළට ඇද දමා ඇත. ඉන්දියාව සමග පැවැති සමුළුවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් කිරීමටද පොරොන්දු විය. නමුත් ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඉල්ලා ඇති ණය කපා හැරීමේ හෝ ණය සහනය පිළිබඳ යෝජනාවට මේ වන තෙක් ඉන්දියාව ප්‍රතිචාර දක්වා නැත. චීනය සමග පසුගිය මාර්තුවේදී ඇති කර ගත් ගිවිසුමක් මගින් ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගන්නා ලදී.
මෙම සංචාරයේදීද ශ්‍රී ලංකාව හා චීනය අතර රුපියල් බිලියන 16.5ක ආධාරයක් චීනයෙන් ග්රාමීයකටයුතු සංවර්ධනය සඳහා ලබා ගැනීමේ ගිවිසුමකටද අත්සන් තැබිණි.
කොවිඩ් එන්නතත් ලංකාවට
චීනය විසින් මේ වන විට සංවර්ධනය කරමින් පවතින කොවිඩ් 19 සඳහා වූ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබුණු වහාම ශ්‍රී ලංකාවට ලබා දීම කෙරෙහි සලකා බලන බවද යැංග් ෂී ජී විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහතික වී ඇත. NewsInAsia වෙබ් අඩවියට වෙබ් අඩවියට අනුව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් වී මානව පරීක්ෂාව සඳහා සුදුසුකම් ලබා ඇති ඇති එන්නත් සංඛ්‍යාව 7 ක් වන අතර ඉන් 4ක්ම චීනයෙන් ඉදිරිපත් වී ඇති ඒවාය. (https://newsin.asia/china-will-supply-anti-covid-vaccine-to-lanka-after-who-approval-cpc-politburo-member-yang-jiechi/) කොවිඩ් 19 ව්‍යාප්තිය පිළීබඳ චීනයට චෝදනා එල්ල වී ඇති අවස්ථාවක මෙලෙස එන්නත් 4ක්ම චීනයට සැකසීමට හැකි වීමද සැක වර්ධනය කරවන්නක්.
මේ ආකාරයට සිදු වී ඇති චීන කොමියුනිෂ්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික මෙන්ම චීනයේ රාජ්‍ය පාලනයේ තීරණාත්මක බලවතකු වන හා එක්සත් ජනපද -චීන සම්බන්ධතාවය පිළිබඳ වගකීම් දරණ යැංග් ජීචී ගේ හදිසි ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවේ අලුත් ප්රවේශයන් පිළිබඳ පරීක්ෂා කිරීමක් මෙන්ම චීන අභිලාෂයන්ගේ පැවැත්ම තහවුරු කිරීමට දරනු ලැබූ උත්සහයක් ලෙස සැලකිය හැක. එමෙන්ම ඉන්දියාව හා එක්සත් ජනපදය මේ සංචාරය දෙස හොඳින්ම පරීක්ෂාවෙන් සිටිනු ඇත.
-නීතිඥ දුලාන් දසනායක-