ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වනවා – IFC පවසයි

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වන බවට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහතික වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වර්ධන වැඩසටහනට සහය දැක්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) කැප වී සිටින බව ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක් නිමා කරමින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි (Riccardo Puliti) මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලු අංශවල වර්ධනයක් ඇති කිරීම සඳහා වන ක්‍රියාවලියේදී පුද්ගලික අංශය මූලික කරගැනීමේ වැදගත්කම ද ඒ මහතා පෙන්වාදුන් අතර ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), නැගී එන වෙළෙඳපොළ තුළ පුද්ගලික අංශය වෙනුවෙන් කැප වූ විශාලතම ගෝලීය සංවර්ධන ආයතනය බව පෙන්වා දුන්නේය. රටවල් 100කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් සිදුකරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව, 2023 මූල්‍ය වර්ෂය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලික සමාගම් සහ මූල්‍ය ආයතන වෙත ඩොලර් බිලියන 43.7ක වාර්තාගත මුදලක් ආයෝජනය කරමින් වෙළඳපොළ සහ අවස්ථා නිර්මාණය කිරීම සඳහා එම සංස්ථාවේ ප්‍රාග්ධනය, විශේෂඥ දැනුම සහ අත්දැකීම් භාවිතා කරයි.

මෙම සංචාරයේ දී රිකාඩෝ පුලිටි මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ආර්. නන්දලාල් වීරසිංහ මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්, පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ ද සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ තිරසර ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කෙරිණ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි මහතා මෙසේ ද සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීම සඳහා අතිවිශාල අවස්ථා ප්‍රමාණයක් තිබෙනවා. එහිදී පෙර නොවූ විරූ ආර්ථික අභියෝගකාරී තත්ත්වයක් හරහා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින විට, එම ක්‍රියාවලියේ ගම්‍යතාවය පවත්වා ගැනීම මෙන්ම එමගින් අත්කර ගන්නා ස්ථාවරත්වයේ සිට එය තිරසර වර්ධනයක් දක්වා මාරුවීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛතාව ලබාදීම අත්‍යවශ්‍ය වෙනවා”

මෙම සංචාරය අතරතුර, පුලිටි මහතා විසින් සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා සමාගමෙහි නව කොටස් ආයෝජනයක් සඳහා ගිවිසුමක් අත්සන් කරන ලද අතර සමාගමේ වර්ධන සැලැස්මට සහාය වීම, ඖෂධ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සහ බෙදාහැරීමේ මෙහෙයුම් පුළුල් කිරීම එහි අරමුණයි. මේ හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය සහ මෙරට ආර්ථික යථා තත්ත්වයට පත්වීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව තබා ඇති විශ්වාසය තහවුරු කෙරේ. යුරෝපා සංගමයේ අරමුදල් මඟින් පහසුකම් සපයනු ලබන හරිත මූල්‍යකරණ වැඩසටහන් ඉදිරියට ගෙන යාම සඳහා කොමර්ෂල් බැංකුව (CBC) සමඟ උපදේශන කාර්යයක් සිදු කරන බවද පුලිටි මහතා සඳහන් කළේය. මෙම හවුල්කාරිත්වය තුළින්, ශ්‍රී ලංකාවේ ශුන්‍ය විමෝචන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සඳහා දායක වන පරිදි සිය හරිත මූල්‍ය පද්ධතිය විවිධාංගීකරණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුවට සහාය වීමක් සිදු වේ.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව, ශ්‍රී ලංකාවේ වර්ධනය සඳහා නවෝත්පාදන සිදු කිරීම, තිරසර යටිතල පහසුකම් සංවර්ධනය සහ සමාජ හා මූල්‍ය ක්ෂේත්‍ර ඇතුළු උපායමාර්ගික වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල දශක පහකට වැඩි කාලයක් කටයුතු කර ඇත. එම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මෙරට පුද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, නව රැකියා අවස්ථා ඇති කිරීම, ආර්ථික තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සහ වර්ධනය සඳහා රජයේ ප්‍රතිසංස්කරණවලට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව දක්වන කැපවීමද මේ සංචාරයේ දී පුලිටි මහතා අවධාරණය කළේය.

කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ශ්‍රී ලංකාව තුළ අමෙරිකානු ඩොලර් මිලියන 800 කට අධික ආයෝජනය සිදුකර ඇති අතර, ඒ ව්‍යාපාර පවත්වාගෙන යාමට සහ රැකියා සුරක්ෂිතභාවය සඳහා අත්‍යවශ්‍ය දිගු කාලීන ප්‍රාග්ධනය සහ වෙළඳ මූල්‍ය පහසුකම් සැපයීම වශයෙනි. සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පුද්ගලික සමාගම (CDB) සහ කොමර්ෂල් බැංකුව වැනි ආයතන සමඟ මෑතකාලීනව ඇති කරගත් හවුල්කාරිත්වයන් මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කරමින් දේශගුණික මූල්‍ය පහසුකම් සැලසීම පුළුල් කිරීම සහ සැපයුම් දාම මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව දරන උත්සාහය අවධාරණය කෙරේ.

මහින්ද අලුත්ගෙදර

Social Sharing
ආර්ථික නවතම පුවත්