ජපානය නැවත පැමිණීම ජයග්‍රහණයකි…

ජපානයේ විදේශ ඇමැතිනි යෝකෝ කමිකාවාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර සබඳතාව යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පසුගිය පාලනය විසින් ජපානයට වරක් හිමිව තිබූ විශේෂ තත්ත්වයෙන් ජපානය ඉවත් කළ ආකාරය බොහෝ හදවත් කම්පා කරවන්නට ඇත. ජපානය දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික ප්‍රතිලාභියා වූයේ, යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සඳහා සෘජු ප්‍රදාන සහ සහනාධාර ණය ලබාදීම හරහාය. ජපානය ඉතා සහනදායි කොන්දේසි මත ඉදිරිපත් කළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය අවලංගු කිරීම, ශ්‍රී ලාංකිකයන්ට ඉතා විශාල වන්දියක් ගෙවීමට සිදුවී ඇති දේශපාලන කුසීතකම සහ ආර්ථික මෝඩකම යන දෙකටම උදාහරණයකි.

දැනට අත්හිටුවා ඇති විදේශ අරමුදල් වෙත ප්‍රවේශවීම සඳහා ද්විපාර්ශ්වික ණය දෙන්නන් සහ අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ රජය විසින් නොගෙවූ ණය පියවීම සඳහා සාකච්ඡා අවසන් කළ විගසම, ජපානය ශ්‍රී ලංකාවට සහාය දැක්වීම නැවත ආරම්භ කරන බව විදේශ ඇමැතිනි කමිකාවා පැවැසීය. පවතින අන්තර්ජාතික ණය ප්‍රශ්නය විසඳාගත් වහාම ජපානය “පවතින යෙන් ණය ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තවදුරටත් සහාය දෙන” බව ඇය පවසා තිබේ. කොළඹ ආශ්‍රිත විශාල මාර්ග තදබදය අවම කර, රට වචනාර්ථයෙන් මෙන්ම සංකේතාත්මකවද සංවර්ධනයේ ඉහළ මට්ටමකට රැගෙන යෑමට උපකාරීවන, 2020 දී ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය වැනි තවත් නව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ද ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් ඇත.

පෙර පැවැති ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මෙන් නොව, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව, රටේ සම්ප්‍රදායික ආධාර සපයන්නන්ට, එනම් එක්සත් ජනපදයට සහ යුරෝපා සංගමයට මෙන්ම ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව ආහාර ඇතුළු බොහෝදේ ලබාදුන් වැඩිමහළු සහෝදරයකු මෙන් වන ඉන්දියාවේද පිළිගැනීමට ලක්ව ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවට ලැබෙන ජපානයේ දිගුකාලීන ආධාර අතරට දක්ෂිණ අධිවේගී මාර්ගයට මුදල් සැපයීම, මහ කොළඹ ප්‍රදේශයේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා පුළුල් කිරීම සහ රටේ උතුර හා නැඟෙනහිර ප්‍රදේශවල දරිද්‍රතාවයෙන් පෙළෙන, ගැටුම්වලින් පීඩාවට පත් ජනතාවට ණය ලබාදීමෙන් දිළිඳුකම පිටුදැකීම ඇතුළත් වේ. ජපානය ලබා දී ඇති ණය සඳහා අවුරුදු 10ක සහන කාලයක් ද ඇතුළුව, සාමාන්‍යයෙන් වසර 30ක ආපසු ගෙවීමේ කාලයක් ඇත. පොලී අනුපාතය සියයට තුනකට වඩා අඩුය.

සදාචාරාත්මක ආචාරධර්ම

සැළකිල්ලට ගතයුතු වැදගත් කරුණක් නම්, ජපානය සිය සංවර්ධන ආධාර වැඩසටහන් තුළට ගෙන ඒමට උත්සාහ කර ඇති සදාචාරාත්මක ආචාරධර්ම වේ. ජපානය අනුග්‍රහය දක්වන ව්‍යාපෘති ශ්‍රී ලංකාවට සහ සමස්තයක් වශයෙන් රටේ ජනතාවට ඇති වටිනාකම වෙනුවෙන් තක්සේරු කරනු ලබන අතර, රජයේ නායකයන්ගේ අවශ්‍යතා හෝ අභිලාෂය තෘප්තිමත් කිරීමට ඒවා දායක නොවේ. එබැවින් මෙම ආධාරවලට, ආර්ථික ආධාරවලින් ඔබ්බට විහිදුණු අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ආපදා සහන සඳහා වැනි එතරම් දෘශ්‍යමාන නොවන ආධාර ඇතුළත් වේ. රජයේ නායකයන්ට, ඔවුන්ගේ මිතුරන්ට සහ පවුල්වලට අල්ලස් දීමට හෝ ඔවුන්ගේ පෞද්ගලික ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට ජපන් ආධාර භාවිත කිරීමට ඇති හැකියාව අඩුය. නැතිනම් ඇත්තෙම නැත. ශ්‍රී ලංකාව සහ රටේ ජනතාව කෙරෙහි සමාන සැළකිල්ලක් නොදක්වන අන්තර්ජාතික මූලාශ්‍රවලින් සහ අඩු සැළකිල්ලක් දක්වන රටවලින් ලබාගත් අරමුදල් විශාල ප්‍රමාණයක් අවභාවිතය, වර්තමානයේ රටටත් එහි ජනතාවටත් අත්වී ඇති දුක්ඛිත ආර්ථික ඉරණමට දායක වී ඇත.

ඕනෑම රටක් වෙනත් රටවල සංවර්ධනයට සහාය දැක්වීම සඳහා කරන තේරීම් ඔවුන්ගේම අභ්‍යන්තර ප්‍රමුඛතා සහ භාවිතයන් පිළිබිඹු කිරීමට නැඹුරු වේ. ජපානය යනු එහි සියලු ජනතාවගේ ජීවිතවලට සමානාත්මතාවය සහ අභිමානය ගෙන ඒමට උත්සාහ කළ රටකි. පෞද්ගලිකත්වයේ සහ කාර්යක්ෂමතාවයේ ආදර්ශයක් ඇති, ආර්ථික සාර්ථකත්වයේ ආදර්ශයක් වන සිංගප්පූරුවේ කුලී රථ රියදුරන් ශ්‍රී ලංකාවට සාපේක්ෂව හොඳ වැටුපක් ලබාගත්තද අසමානතාවය සහ ඔවුන්ගේ ජීවිතයේ දුෂ්කරතා ගැන පෞද්ගලිකව මැසිවිලි නඟන්නේ මේ නිසාය. එහෙත් ජපානයේ, රාජ්‍ය පද්ධතියෙන් තමන්ට සිදු වූ අසාධාරණය ගැන පැමිණිලි කරන්නේ ස්වල්ප දෙනෙක් පමණි. ජපානයේ ප්‍රජාව සහ බැඳීම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකෙරේ. ජපානයේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව වර්ධනය වනා එකක් වන අතර, ශ්‍රී ලාංකිකයන් වැඩි වැඩියෙන් එරටට රැකියා සඳහා සංක්‍රමණය වීමට සහ හැකි නම් දිගු කාලීනව එහි ජීවත් වීමට ජපන් භාෂාව ඉගෙන ගනිමින් සිටින්නේ එබැවිනි. සංක්‍රමණිකයන් විශ්වාස කරන්නේ ජපානයේ ඔවුන්ට සාධාරණ වැටුපක් සහ යහපත් ජීවන තත්ත්වයක් ලබා දෙනු ඇති බවයි.

එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ උගන්වන, ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහා සේවය කළ ඉන්දියානු විද්වතකු තර්ක කර ඇත්තේ, ඉහළ ආර්ථික වර්ධන වේගයක් සහ භෞතික හා ඩිජිටල් යටිතල පහසුකම් නව්‍යකරණය තුළ රටේ සියලු සාර්ථකත්වයන් තිබියදීත්, ඉන්දියාවට තවත් බොහෝ දේ කිරීමට ඉතිරිව ඇති බවයි. එහිදී මහාචාර්ය අශෝක මෝඩි මෙසේ ලියයි, “සමාජයන් පොදු සුබසාධනය මත තබන ආචාරධාර්මික වටිනාකම තීරණය කරන්නේ, ආර්ථික ප්‍රතිපත්තිවල පවතින සාර්ථකත්වය සහ භාවිතය පමණක් නොවේ. එය අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, යුක්තිය සහ පිරිසිදු පරිසරයක් වැනි මූලික පොදු භාණ්ඩ කෙරෙහි තියුණු අවධානයක් ද සහතික කරයි. මේවා සහතික කෙරේ නම්, අනෙක් සියල්ල කළ හැකියි.” ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනේ පවතින බරපතලම අඩුපාඩුවක් නම්, දුප්පත් සහ කොන් කරන ලද ජනයා වෙනුවෙන් රට පරිත්‍යාගයෙන් වැඩි ප්‍රමාණයක් යොමුනොකිරීම සහ අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා වන රජයේ වියදම් කපාහැරීමට උත්සාහ කිරීමයි.

සියල්ල ඇතුළත් කරන්න

ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරවල වටිනාකම ද මෙරට ජනවාර්ගික ගැටුම විසඳීමට සහ ජාතික සංහිඳියාව ඇති කිරීමට දක්වන කැපවීම පිළිබිඹු කරයි. ජපන් ප්‍රවේශය බටහිර රටවලට වඩා වෙනස් ය. එය සැමවිටම ස්වෛරී රජයන් වලට ගැටලුවලට විසඳුම් සෙවීමට ඇති අයිතියට ගරු කරන නමුත් අන්තර්ජාතික ප්‍රමිතීන් සහ මානව හිමිකම්වලට ගරු කිරීමේ රාමුව තුළ පවතී. දශකයකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ යුද්ධයට සාමකාමී අවසානයක් සෙවීම සඳහා ජපානය නැවත නැවතත් දූත මෙහෙවරෙහි යෙදෙමින්, ඒ සඳහා ඔවුන්ගේ දක්ෂතම රාජ්‍යතාන්ත්‍රිකයකු වන යසුෂි අකාෂි මෙරටට එවීය. මෙවර මෙම සංචාරයට පැමිණි ජපාන විදේශ ඇමැතිවරයා, 2003 වසරේ “ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය පිළිබඳ ටෝකියෝ සමුළුව” පැවැත්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඔහු දැක්වූ දායකත්වය සිහිපත් කළේය. එහෙත් ශ්‍රී ලංකාව එම අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේ නැත.

කෘතඥතාපූර්වක හදවතකින් සාමය ගොඩනැංවීම සඳහා එම ප්‍රවේශය අද දින හඳුනාගත හැකිය. “දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී, දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, ජපානය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇතිව, තම දේශනයේදී බුදුන් වහන්සේගේ වදන් උපුටා දක්වමින් ජපානය අන්තර්ජාතික ප්‍රජාව වෙත නැවත පැමිණීම දිරිමත් කළ බව විදේශ ඇමැති කමිකාවා සිහිපත් කළාය. සාමය සහ ආරක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා කාන්තාවන්ට කළ හැකි සහ ඉටු කළ යුතු වැදගත් කාර්යභාරය ද ඇය සඳහන් කළාය. “මෑත වසරවලදී ජපාන රජය දැඩි ලෙස එය ප්‍රවර්ධනය කර ඇති අතර එය මගේ ජීවන කාර්යයද වේ”. කාන්තාවන්, රාජ්‍ය පාලනයේ පෙරටුගාමී කාර්යභාරයක් ඉටුකරන ස්කැන්ඩිනේවියානු රටවල සාමකාමීත්වය වඩාත් පිළිබිඹු වන්නේ, ජනමාධ්‍ය ඔස්සේ බිහිසුණු ලෙස අපගේ හැඟීම්වලට බෝම්බ හෙළන ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය සමඟ සංසන්දනය කිරීමේදීය.

පසුගිය පාලනය විසින් විරසක කරගත් ජපානය ඇතුළු ධනවත් සහ බලවත් රටවල සහාය ශ්‍රී ලංකාවට නැවත ලබාගැනීමට තමාගේ නිරීක්‍ෂණය යටතේ හැකිවීම පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහට සෑහීමකට පත්විය හැකිය. එහෙත් ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය ලබාගැනීමටත්, ඔවුන්ට ප්‍රවේශ වීමේ වැඩි අවස්ථා ලබාදීමටත්, ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය දිනාගන්නා, පාලනයේ සදාචාරාත්මක වෙනසක් ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවක් පවතී. අද දක්වාම පවතින දූෂණ වංචාවල අශ්ශීලත්වය සහ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී උද්ගතවන බර අඩුම තරමින් දරාගත නොහැකි අය මත පැටවීම සදාචාරාත්මක පාලනයක් නොවේ. අන්තර්ජාතික ප්‍රජාවේ සාමාජිකයන් දැක්මක් ඇති නායකත්වය සහ අදහස් ප්‍රගුණ කිරීම අගය කරන නමුත්, ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය දිනාගැනීම සඳහා පිඩාවට පත්, දිළිඳු හෝ සුළුතර සියල්ලන් විසඳුමකට ඇතුළත් කිරීමට උත්සාහ කරන සැබෑ හදවතකින් කරන ක්‍රියාවන් වර්තමානයේ අවශ්‍ය වේ.

ආචාර්ය ජෙහාන් පෙරේරා 

Social Sharing
ආර්ථික නවතම පුවත්