රට ගොඩ දාන්න නම් කර්මාන්ත අරඹන්නම ඕනෑ – කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම

රටක ආර්ථිකයේ තිරසර අත්තිවාරම එරටේ නිෂ්පාදන මත රඳා පවතියි. ඒවා කුමන මට්මේ වෙළෙඳපොළක් ග්‍රහණය කර ගත යුතු ද හා ආර්ථික ප්‍රතිලාභය කෙසේ උපයා, සපයා ගත යුතු ද යන්න මත සියලු සාධකයන් ගොනුවේ. එසේ නම් අප වැඩි අවධානයක් සේම සැලකිල්ලක් දැක්විය යුත්තේ ද මෙකී කාරණය උදෙසාමය. දැන් ඒ මඟ විවරව ඇත. ඊට අත්තිවාරම ද යොදා ඇත. සිදුවිය යුත්තේ නිවැරදි පීල්ලේ ගමන යෑමය. මෙහි සුවිසල් යන්ත්‍රණයේ පෙර ගමන්කරු, මෙරටේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයයි. එබැවින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ඉදිරි වැඩ කටයුතු මොනවාදැයි යන්න පිළිබඳව එහි සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සමඟ කළ සම්මුඛ සාකච්ජාවකි මේ.

Industry Export 2024 කියන්නේ අපේ කර්මාන්ත ශක්තිය රටට පෙන්වන්න අවස්ථාවයි

ව්‍යවසායකත්වයට හුරු කරන වැඩපිළිවෙළකට සහයෝගය දෙන්න

ව්‍යවසායකත්වය සමාජ බලවේගයක් බවට පත් කර ගනිමු

අපේ රටේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ආරම්භ කළේ කුමන අරමුණු පෙරදැරි කොට ගෙනදැයි පෙන්වා දෙන්න?

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සංවර්ධන පනත මඟින් 1969 තමයි ස්ථාපිත කරන්නේ. ඊට කලින් තිබුණු ආයතන කිහිපයක් ඒකාබද්ධ කරලයි, මෙය ආයතනයක් විදිහට ගොඩ නැඟෙන්නේ. මෙහි මූලික අරමුණ ශ්‍රී ලංකාවේ සියළුම කර්මාන්ත සංවර්ධනය, ප්‍රවර්ධනය සහ දිරිදීමයි අරමුණ වුණේ. මෙය මූලිකවම ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. නමුත්, මේ අරමුණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා නැති බව පැහැදිලියි. එහෙම වුණා නම්, මේ රට කිසිදා ආර්ථික කඩාවැටීමකට කිසිසේත්ම ලක් වෙන්නේ නෑ. ඒ නිසා අපට මේ පනතේ අරමුණු හා ක්‍රියාකාරීත්වය පිළිබඳව යළි සිතා බලන්න අවශ්‍ය වුණා.

විශේෂයෙන් කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ආවට පස්සේ මේ පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් කරලා, මේක කොහොමද යළිත් සකස් කර ගන්නේ කියන කාරණය පිළිබඳව පුළුල් අවධානයක් යොදලා කටයුතු කළා. ජනාධිපතිතුමාගේ අපනයන කේන්ද්‍රීය ආර්ථික වැඩසටහන ඉදිරියට ගෙනයෑම පිළිබඳව අරමුණු ගණනාවක් ඔස්සේ අපි කටයුතු කරමින් ඉන්නවා. කලින් අපි අපනයන ඉලක්ක සකස් කර ගත්තා. නමුත් ඒ සඳහා ව්‍යවසායකරුවන්ට සහ නිෂ්පාදනකරුවන්ට නිෂ්පාදනය කරන්න තියෙන බාධා ඉවත් කිරීම ගැන හිතුවේ නැති වුණොත් ඉලක්ක කරා ගමන් කළ නොහැකි වෙනවා. ඒ නිසා අපි සියලුදෙනාම දැන් මැදිහත්වෙලා උත්සාහ කරන්නේ මේ බාධක ටික අයින් කරලෙන ඉස්සරහට යන්නයි. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විදිහට අපි මේ වෙලාව වෙනකොට උපායමාර්ග අනුව කටයුතු කරන්න හඳුනාගෙන තියෙනවා. ක්ෂුද්‍ර පරිමාණ, කුඩා පරිමාණ, මධ්‍ය ම සහ මහා පරිමාණ කියන සියලුම කර්මාන්තකරුවන්ට අපි අවශ්‍යතාව අනුව අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙනවා. උදාහරණයක් විදිහට කෙනෙකුට සබන් හදන්න අවශ්‍යයි. ඒ පිළිබඳව අවශ්‍ය තාක්ෂණ දැනුම ලබා දෙනවා. හැබැයි එය ප්‍රමාණවත් නෑ. ඔහුට ව්‍යවසායකත්ව දැනුමකුත් අවශ්‍ය වෙනවා. ඒ අදාළ දැනුම ලබා දීමත් අපි සිදු කරනවා. ඊළඟ කාරණය තමයි බලපත්‍ර පිළිබඳ කාරණය. බලපත්‍රයක් ලබා ගන්නවා කියන්නේ අපේ රටේ විශාල ප්‍රශ්නයක්. ඊට අවශ්‍ය මැදිහත්වීම සහ සහයෝගය ලබා දීම අපි සිදු කරනවා. ඒ වගේම ණය ලබා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම අපි කරනවා. ඒ වගේම කර්මාන්ත පුරයක් ඇතුළෙ ඉඩම් ලබා ගැනීම පිළිබඳව ඊට අවශ්‍ය සහය ලබා දෙනවා. ඒ වගේම දේශීය සහ විදේශීය වෙළෙඳපොළ සංවර්ධනය කර ගැනීමටත් ප්‍රමිති සහතිකය ලබා ගැනීම වැනි කාරණාවලටත් අපි සහාය ලබා දෙනවා. මේ කාරණා ටික තමයි අපි කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විදිහට කටයුතු කරන්නේ.

පුරන් කුඹුරු අස්වැද්දීම, ගෙවතු වගාව යනාදියෙන් පමණක්ම රට සංවර්ධනය කරන්න බෑ. ආහාර සුරක්ෂිතතාවට එය වැදගත්. රට සංවර්ධනය කරන්න නම් කර්මාන්ත සංවර්ධනයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා ප්‍රතිපත්ති සම්පාදකයන්ට, නීති සම්පාදකයන්ට කර්මාන්ත සංවර්ධනය සඳහා අවධානය යොමු කරන්න කියන කාරණයට අපි මැදිහත් වෙනවා. අපට නොපෙනෙන සැඟවුණු කාරණා කිහිපයක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කළ යුතු වෙනවා. ආර්ථික සංවර්ධනයට ව්‍යවසායකත්වය වැදගත්. අපේ රටේ ශ්‍රම බළකායෙන් 2.8ව්‍යවසායකයෝ ඉන්නේ. මෙය ඉතාමත් අඩු මට්ටමක්. මෙම තත්ත්වය 2030 වන විට 10%කටවත් ගේන්න ඕනෑ. නැතිනම් අපට රටක් වශයෙන් සංවර්ධනය වෙන්න බෑ. ඒක තමයි යථාර්ථය මොන ආණ්ඩුව ආවත්. ඒ නිසා ව්‍යවසාය සංවර්ධනය වෙන්නේ නැත්තේ ඇයි කියන එක අපි සොයා බැලුවා. අපේ ආකල්පමය වශයෙන් ව්‍යවසායකත්වය එතරම් හොඳ නෑ. ඒ නිසා මුලින්ම ආකල්පය වශයෙන් රට තුළ සංවර්ධනයක් අවශ්‍යයි. අපේ අධ්‍යාපනය ඇතුළේ රස්සා කරන්න ඉගැන්වුවාට රස්සා දෙන්න උගන්වන්නේ නෑනේ. එවැනි අරමුණක් අපට තිබුණේ නෑ. ඒ වගේම සමාජය තුළ ඔවුන්ට ගෞරවයක් නෑ. ඒ නිසා රට තුළ ව්‍යවසාය සංවර්ධන සංස්කෘතියක් ගොඩනඟන්න අවශ්‍යයි. එයට මාධ්‍ය සහ ආගමික ප්‍රජාව සමගින් විශේෂ වැඩසටහන් ගණනාවක් දියත් කරන්න සූදානම්.

රට තුළ කර්මාන්ත සංස්කෘතියක් ඇති කිරීමට මූලාරම්භය ගන්නේ කොතැනින් ද?

රටේ ව්‍යවසායකයන් ප්‍රමාණය වැඩි කරන එක ප්‍රධානයි. අපි පාසල් තුළින් මෙය ආරම්භ කරලා තියෙනවා. අපි පහුගිය වසරේ ජූනි මාසේ පාසල් ව්‍යවසායකත්ව කව ආරම්භ කළා. මෙය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ සංකල්පයක්. අධ්‍යාපන අමාත්‍යංශයත් සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් එකතුවෙලා මේ වැඩ කටයුතු දියත් වෙනවා. මේ වන විට පාසල් 500කට අධික සංඛ්‍යාවක් මේ වැඩසටහනට ඉතා සාර්ථකව සම්බන්ධයි. ළමයි 13,000ක් පමණ සම්බන්ධ වූ ව්‍යවසායකත්ව කව ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට මෙරටේ දරුවෝ ව්‍යවසායකත්වයට හුරු කරන්න පටන් අරන් තියෙනවා. මේ අය අනාගතයේ රස්සා දෙන, රස්සා හදන පුද්ගලයෝ බවට පත්වෙනවා. පාසල්, වෘත්තීය පුහුණු ආයතන, දහම් පාසල් මේ සියල්ලටම මෙය රැගෙන යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අපි පරම්පරා ගණනාවක් ඇහුවේ ඉගෙනගෙන රස්සාවක් අරගන්න කියලයි. අපි දරුවන්ට කියන්නෙත්, ඒ දරුවෝ ඉදිරි පරපුරට කියන්නෙත් එහෙමයි. ඒත් දැන් අපි රස්සා දෙන්න ඉගෙන ගන්න කියන තේමාවට අනුව ව්‍යවසායකත්ව ක්‍රමවේදයකට දරුවන් හුරු කරන වැඩපිළිවෙළක් අරන් ගිහින් තියෙන්නේ. ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා මේ රටේ පැටලිලයි තියෙන්නේ. ඒ නිසා ව්‍යවසායකයා අපි හඳුනාගෙන ඔහුට ගෞරවයක් ගෙන දෙන විදිහට හැඳුනුම්පතක්, වාහන අවසරපතක් නිකුත් කිරීම කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් ආරම්භ කරලා තියෙනවා.

ඒ වගේම මේ දශකයේ අපි දියුණු වෙන්න ඕනෑ නම්, ගම තුළින් නැඟී සිටීමක් සිදු වෙන්න ඕනෑ. භික්ෂුන් වහන්සේ ඇතුළු ආගමික ප්‍රජාව හරහා ඒ දේ සිදු කළ හැකියි. යුද්දේ වෙලාවේ රණවිරුවන්ට දුන් ගෞරවය, කොරෝනා කාලයේ සුව විරුවන්ට දුන් ගෞරවය, මේ වෙලාවේ අපට ඕනෑ. මේ ආකාරයට ආගමික නායකයින් හරහා ව්‍යවසායකත්වයට හුරු කරන වැඩපිළිවෙළකට සහයෝගය ඉල්ලා සිටිනවා.

2004 ලෝක බැංකුව සමීක්ෂණයක් කරනවා සමහර රටවල් දියුණුයි. සමහර රටවල් දියුණු නෑ ඒ ඇයි කියලා?

ඔවුන්ගේ අවසාන නිගමනය වුණේ ව්‍යාපාරයක් කරන්න පහසුයි නම් ඒ රට භෞතිකවත් පොහොසත්. ව්‍යාපාරයක් කරන්න අමාරුයි නම් ඒ රට දුප්පත් කියලා. ඉතින් අපි දුප්පත්. අපිට ව්‍යාපාරයක් කරන්න අමාරු රටක්. ව්‍යාපාර කිරීමේ පහසු දර්ශකයේ අපි ඉන්නේ 99 වැනි ස්ථානයේ. ඒත් අපේ මිනිස්සු ඉන්නේ දියුණු වීමේ ආසාවෙන්. මිනිස්සු ව්‍යාපාර කරනවා වැඩිපුර. එතකොට මිනිස්ස අතේ සල්ලි හොඳින් ගැවසෙනවා. මිනිස්සු පොහොසත්. ආණ්ඩුවට බදු ගන්න පුළුවන්. ආණ්ඩුවත් පොහොසත්. අපි දුප්පත්වෙලා තියෙන්නේ ව්‍යාපාර කරන්න අපහසු නිසායි. අපි විශ්වාස කරනවා 2030 වෙනකොට මේ ව්‍යාපාර කිරීමේ පහසු දර්ශකයේ පළමු 50 අතරටවත් එන්න පුළුවන් වේවි කියලා. එහෙම නොවුණහොත් අපට සංවර්ධනය වෙන්න බෑ.

අපට සංවර්ධනය වෙන්න තියෙන බාධා මොනවාද?

අපට බාධා තියෙනවා. ඒ නිසයි සංවර්ධනය වෙන්න අපහසු. අපට ව්‍යාපාරයක් පටන් ගන්න බලපත්‍රයක් ගන්න හරිම අමාරුයි. ඒ නිසා යුරෝපයේ තියෙන ප්‍රමිති අපි තියාගෙන හිටියට ආර්ථිකය අතින් ඉන්නේ පහළ මට්ටමකයි. ප්‍රමිතීන් ඉහළට යන්නේ ආර්ථිකයත් එක්කයි. අපේ අද තියෙන දළ ජාතික ඒක පුද්ගල ආදායම අමෙරිකාවේ තිබ්බේ 1840 විතර. එංගලන්තයේ තිබිලා තියෙන්නේ 1890 විතර. ප්‍රංශයේ, ජර්මනියේ තිබිලා තියෙන්නේ 1910 විතර. ඒ රටවල් ඒ කාලේ එතරම් නීති තිබුණේ නෑ. ඒ නිසා ඒ රටවල් වේගයෙන් දියුණු වුණා. ඊට පසුව ඒ ප්‍රමිති නීති ගෙනාවා. අපි අද ඒ නීති දාගෙන අපේ දියුණුවට බාධා කරගෙන ඉන්නවා. සමහර තැන්වල අනවශ්‍ය ඒවත් දාගෙනයි ඉන්නේ. අපි අනවශ්‍ය නීති අයින් කරගෙන අත්‍යවශ්‍ය ඒවා තාක්ෂණයත් එක්ක ඉදිරියට යා යුතු වෙනවා. ඒ නිසා අපේ සංවර්ධනයට බාධා කරන ප්‍රධාන බාධක 05ක් අපි හඳුනාගෙන තියෙනවා. 1. බලපත්‍ර ගන්න පහසු කරන්න ඕනෑ. 2. ණය ලබා ගන්න පහසු විය යුතුයි. 3. කර්මාන්ත පටන් ගන්න නම් භූමියක් ඕනෑ. ( කර්මාන්ත පුරයක අවශ්‍යතාව) 04. ප්‍රතිපත්තිවල තියෙන ගැටලු 5. ව්‍යවසායකත්වයන්ගේ ප්‍රතිශතය අඩු වීම මේ කාරණා විසඳා ගනීමට අවශ්‍ය අරමුණු සකස් කර ගන්න කටයුතු කරගෙන යනවා.

දේශීය කර්මාන්ත නඟාසිටුවීමෙන් පමණක් අපේ ආර්ථිකය ගොඩගත හැකිද?

දේශීය කර්මාන්ත නඟාසිටුවන්න පුළුවන් කියන්නේ විදේශීය අයෙකුටත් මෙරටේ කර්මාන්තත් දාන්න පුළුවන් කියන එකයි. විදේශීය ආයෝජන අත්‍යවශ්‍යයි. දේශීය අයට කර්මාන්තයක් කරන්න පුළුවන් කියන්නේ විදේශීය අයටත් කර්මාන්ත කරන්න පුළුවන් වාතාවරණයක් රට ඇතුළේ තියෙනවා. එතකොට කොහොමත් මේ රට සංවර්ධනය වෙනවා. ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ කියලා කර්මාන්ත කොටස් 04ක් තියෙනවා. කර්මාන්තවලට මේ සියල්ල ඇතුළත්. ගොඩක් වෙලාවට ක්ෂුද්‍ර පරිමාණයෙන් පටන්ගෙන මහා පරිමාණ දක්වා දිවෙන කර්මාන්ත තියෙනවා. සමහරු කෙළින්ම මහා පරිමාණයෙන්ම පටන් ගන්නවා. ඕනෑම රටක ක්ෂුද්‍ර හා මහා පරිමාණ කර්මාන්තවල දායකත්වය වැඩි වශයෙන් තියෙනවා. අපිත් ඒ අංශයන් වඩාත් ශක්තිමත් කළ යුතුව තියෙනවා.

කර්මාන්ත සංවර්ධනය දියත් කෙරෙන යන්ත්‍රණය කෙබඳු ද?

අපිත් එක්ක බැඳුණු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක් තියෙනවා. ව්‍යවසායකරුවන්ට හා කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදනවලට අවශ්‍ය පහසු පරිසරයක් තනා දීමට අපි කටයුතු කරනවා. එතකොට මේ රටේ මිනිස්සු කර්මාන්ත කරයි. අපි දැන් වසරක් තිස්සේ මේ කටයුතු කරගෙන යනවා. යම්කිසි මට්ටමක සාර්ථක ප්‍රගතියක් තියෙනවා. ව්‍යවසායකත්වය සමාජ බලවේගයක් බවට පත් කරගත යුතුයි. කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන දැනුම, සහයෝගය, විසඳුම් ආදිය මේ වනවට රට පුරා ක්‍රියාත්මක කරගෙන යනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා සෑම දිස්ත්‍රික්කයකම අපේ කාර්යාල තියෙනවා. සංවිධායකවරුන් ඉන්නවා. 1995 කියන අංකය අපි හඳුන්වලා දීලා තියෙනවා. 070 5001995 වට්ස්ඇප් අංකයක් තියෙනවා. මේ හරහාත් ඕනෑම අයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්.

කර්මාන්ත ප්‍රදර්ශනය ගැන කතා කරමු?

ලංකා ඉතිහාසයේ සිදු කෙරෙන දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය මෙයයි. මෙය ජුනි මස 19 සිට 23 දක්වා BMICH හිදී පැවැත්වෙනවා. කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ සංකල්පයක් වන අතර මෙහිදී දේශීය කර්මාන්ත එකම වහලක් යටට ගෙනැත් විදේශීය ගැණුම්කරුවන් හා සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය, තානාපති කාර්යාල හා වාණිජ දෙපාර්තමේතුව සමඟත් කටයුතු කරනවා. ඒ සහසම්බන්ධතාව තුළින් විදේශ වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දේශීය වෙළඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමේ අවස්ථාවත් තියෙනවා. තාක්ෂණ හුවමාරුව, ජාලගත වීම යනාදිය ප්‍රධාන අරමුණයි. අපේ කර්මාන්ත පිළිබඳ ශක්තිය රටට පෙන්වීමත් අරමුණක්. මෙයට සම්බන්ධ නොවූ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට අපිත් සමඟ අත්වැල් බැඳගන්න විවෘතව ආරාධනා කරනවා.

ශ්‍යාමා සමරසිංහ

දිනමිණ පුවත්පතින් උපුටා ගන්නා ලදී.

Social Sharing
අවකාශය ආර්ථික නවතම පුවත්