අවුරුදු ගීතයක් විකෘති කිරීම පිළිබඳව සංස්කෘතික අමාත්‍යංශය විමසිල්ලෙන්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කරන ලද අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුව මෙය සිදු කරනු ලබයි.රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් මෙලෙස විකෘති කර ඇති බව වාර්තා වේ. විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ‌ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් , සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. ඒසේම අදාළ පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැල්පොළ විපස්සී ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අග්නිදිග ආසියානු කලාපයේ සංඝනායක පැල්පොළ විපස්සී නාහිමියෝ පවසා සිටියේ සෑම ජාතියක්ම තම සංස්කෘතිය ආරක්ෂා කළ යුතු බවත් එය විනාශ කිරීමට හෝ විකෘති කිරීමට උත්සාහා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දියයුතු බවත් ය. මුස්ලිම් ආගමට අපහාස කළ බවට චෝදනා එල්ල කරමින් බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිරඳඩුවම් ලබාදීමට අධිකරණය පියවර ගත්තා හා සමානව සිංහල සංස්කෘතිය විකෘති කරන පුද්ගලයින්ට ද දඩුවම් ලබා දියයුතු බව උන්වහන්සේ පවසති. අපගේ වසර දෙදහස් පන්සියයකට අධික උරුමයක් ඇති සංස්කෘතිය සහ ජන උරුමයන් විනාශ කිරීමට ඉතාමත් සූක්ෂම ලෙස විවිධ පිරිස් උත්සාහා ගන්නා බවත් වහාම ඊට විරුද්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය නැගී සිටිය යුතු බවත් පැල්පොළ විපස්සී හිමියෝ පවසති. ජපානය තම සංස්කෘතිය හා දේශීය උරුමය රැකගැනීම සඳහා ගනු ලබන පියවර ඊට කදිම ආදර්ශයක් බව ද වැඩි දුරටත් සදහන් කරති.

Social Sharing
අවකාශය නවතම පුවත්