ප්‍රකාශනයේ හා භාෂණයේ නීති සමාලෝචනය කරන්න.

Review the rules of expression and speech

අජිත් පැරකුම් ජයසිංහ – (සභාපති – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ)

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ඇති නීති පද්ධතිය ගැන අවධානය යොමු කිරීමට කැමතියි. මෙම නීති පද්ධතිය රටේ ජනමාධ්‍යවේදීන්ටත්, පොදුවේ පුරවැසියන්ටත් බලපානවා. ප්‍රකාශනයේ අයිතිය බුක්ති විඳීමට බාධා විය හැකියි. ඔබගේ අතේ තියෙන බස්තම භාවිතා කිරීමේ නිදහස අනෙකාගේ නහයේ කෙළවරින් අවසන් වෙන බව කියවෙන ප්‍රසිද්ධ උදාහරණයක් සිහිගන්වන්නට කැමතියි. ප්‍රකාශනයේ නිදහසත් ඒ හා සමානවේ. නිදහස තිබූ පලියට අපට සිතූ සිතූ දේ කීමට හැකියාවක් නැත.

නමුත් ලංකාවේ ප්‍රකාශන නීතිය සම්බන්ධයෙන් පනත් ගණනාවක් තිබේ. මෑතදී ඥාණසාර හිමියන්ව දඩුවම් කර සිරගත කරනු ලැබුවා එක් නීතියක් යටතේ. ඥාණසාර හිමියන් සම්බන්දයෙන් දිගුකාලීනව චෝදනා එල්ල වෙනවා ආගමික හැගීම් වලට එරෙහිව යම් යම් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 291 ආ වගන්තිය යටතේ ඥාණසාර හිමියන්ට චෝදනා එල්ල වී වරදකරු බව ඔප්පුු වී තිබුණේ. ඒ වගන්තිය තමයි ආගමික හැගීම් වලට හානි කිරිම සඳහා හිතාමතාම චේතාන්විතව වචන ප්‍රකාශ කිරීම යන වෝදනාව අනුව තමයි එතුමන් වරදකරු වෙන්නේ.

ලංකාවේ සිවිල් සමාජය මේ නඩු තීන්දුව අනුමත කරනවා වෙන්න පුළුවන්.  මීට කලින් නතාෂා එදිරිසූරියට එල්ල වූ චෝදනාව ගතහොත් එහිදී ඇයට චෝදනා ඉදිරිපත් කරන ලද්දේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ වු ජාත්‍යයන්තර සම්මුති පනත පදනම් කරගෙනයි. ඇයට චෝදනා එල්ල වූයෙත් මේ විදියටම ආගමික හැඟීම් වලට හිතාමතා හානි කිරිම වැනි සමාන චෝදනාවක් ඉදිරිපත් කරමිනි. එදා සිවිල් සමාජය නතාෂාට අසාධරණයක් වූ බව සඳහන් කළා.

එපමණක් නොව මෙවැනි අවස්ථාවන් සඳහා භාවිතා වන තවත් නීති ද තිබෙනවා. මීට පෙර තිස්සනාගයම් නැමති මාධ්‍යවේදියාට සිරදඬුවමක් හිමිවුනා ඔහු ලියූ වාඛ්‍ය කීපයක් නිසා. ඔහුට විරුද්ධව එම චෝදනාව එල්ල කරන ලද්දේ ත්‍රස්තවාදය වැලැක්වීම යටතේ. අලුතෙන් සම්මත කිරීමට යන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තුළත් මෙවැනිම නීතිරීති තිබේ. එමෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනතෙත් මෙවැනිම ප්‍රකාශ කිරීමේ නිදහසට බලපාන නීතිරීති තිබේ.

හැම තැනම මෙවැනි නීති තිබේ. යම් ආකාරයකට ප්‍රකාශන නීති සීමා කළ යුතු බව පිළිගන්නා අතරම විවිධ නීති ඔස්සේ තෝරාගැනීම් සිදු කර නඩු පැවරීම් සිදුකරන අංශ තමන්ගේ කැමැත්ත අනුව සිදුවීම් තෝරාගෙන තමයි මේ චෝදනා එල්ල කිරීම් කරන්නේ. එවැනි චෝදනා එල්ල කිරීමක් පහසුවෙන්නේ මෙම නීති රීතිවල තිබෙන අක්‍රමවත් බව නිසා කියලයි අපි හිතන්නේ.

මාධ්‍යවේදී සංවිධානයක් විදියට අප ඉල්ලා සිටින්නේ ප්‍රකාශනය සම්බන්ධයෙන් ලංකාවේ නීති පද්ධතිය තුළ තිබෙන නීති සමාලෝචනයක් කර ප්‍රකාශනයේ නීති සීමා කළ යුතු තැන සීමා කර, අවිධිමත් අයුරින් විවිධ නීති ඔස්සේ ක්‍රියා කිරීම නවත්වා විධිමත් නීති පද්ධතියක් ප්‍රකාශනය හා භාෂණය සම්බන්ධයෙන් ඇති කරන ලෙස ඉල්ලා සිටිනවා.

2024 අප්‍රේල් මස 08 වන දින කොළඹ ජානකී හෝටලයේ දී පැවති අයිතිය උදෙසා මාධ්‍යවේදීන්ගේ මහ සභා වාරයෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් සභාපති අජිත් පැරකුම් ජයසිංහ එසේ පැවසුවේය. එම මාධ්‍ය හමුවේ දී මාධ්‍ය සංවිධානයේ ලේකම් නීතිඥ දුලාන් දසනායක, භාණ්ඩාගාරික රෝහණ සිරිවර්ධන, ජාතික සංවිධායක ජනුර් කිචිලාන් ඇතුළු පිරිසක් ද අදහස් දැක්වූහ..

Social Sharing
අවකාශය නවතම විශේෂාංග