ඇමති චාමර සම්පත් නැවතත් නිලධාරිනියකට තර්ජනය කරලා

ලංකා පොස්පේට් රාජ්‍යය සමාගමේ  පරිපාලන හා මානව සම්පත් සහකාර  නිධාරීනියට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍යය අමාත්‍ය චාමර සම්පත් මහතා විසින් පසුගිය දිනක අමාත්‍යංශයට කැඳවා පොස්පේට් ආයතනයේ නිලධාරීන් හා අමාත්‍යංශ නිලධාරීන් ඉදිරියේ  තර්ජනය කර බැනවැදී ඇති බවත්, එම ක්‍රියාව හෙළා දකින බවත්, ඉදිරියේදී මෙවැනි තත්වයක් ඇති වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළැඹෙන බවත්  ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් ලිඛිතව ඇමතිවරයාට දැනුම් දී ඇත.

ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ පරිපාලන හා මානව සම්පත් සහකාර ලෙස සේවය කරනු ලබන එච්.වී.ඩී.කේ චන්ද්‍රරත්න මහත්මිය විසින් 2024-04-03 වැනි දින ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ සභාපතිනී සන්ධ්‍යා අඹන්වල මහත්මිය වෙත සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

එම ලිපියෙහි මෙසේ සඳහන්ව ඇත. “2024-04-01 දිනැතිව සාමාන්‍යාධිකාරීතුමා විසින් කරන ලද දැනුම් දීමකට අනුව 2024-04-02 පෙ.ව 11.30 ට පමණ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යය චාමර සම්පත් දසනායක අමාත්‍යයතුමාගේ ප්‍රධානත්වයෙන් හා ලංකා පොස්පේට් ලිමිටඩ් ආයතනයේ සභාපතිතුමිය, සාමාන්‍යාධිකාරී, මානව සම්පත් කලමනාකාර හා අභ්‍යන්තර විගණක මහතුන්ද, ඇතුළුව පැවති සාකච්ජාවක් සඳහා මා කැඳවා, මා විසින් දැනට මෙම ආයතනයේ දෛනික පදනම මත සේවයට කැඳවා සිටින ඩී.එම්. සුමාලී නිසංසලා යන අය හට බැන වැදී තර්ජනය කර ඇති බවටත්, එම අය හට මා විසින් නොයෙක් වර අඩන්තේට්ටම් කර ඇති බවටත් පවසමින් අමාත්‍යතුමා ඉතාමත් අමානුෂික ආකාරයෙන් සහ කාන්තාවකට නොගැලපෙන ලෙස බලවත් හිංසාකාරී ආකාරයෙන් මා හට බැන වදින ලදී.

“එබැවින් ඉහත අමාත්‍යයතුමා කී කරුණ එනම් ඩී.එම් සුමාලී නිසංසලා යන අය හට බැනවැදී තර්ජනය කිරීම හා අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.”

කෙසේ වෙතත්, දෛනික පදනම මත සේවයට කැඳවා සිටින ඩී.එම්. සුමාලී නිසංසලා යන නිළධාරිනිය කොළඹ කාර්යාලය වෙත ස්ථාන මාරු ලබා දී ඇති බව ස‌ේවකයෝ පවසති.

එවැනි පසුබිමක් තුළ තම ආයතනයේ නිළධාරිනියකට බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන්  ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඩී.එම් සමන්ත දිසානායක, ලේකම්  ඩී.එම්.සී උපුල් දිසානායක යන මහත්වරුන් විසින් ලිඛිතව  ප්‍රාථමික කර්මාන්ත රාජ්‍යය අමාත්‍ය චාමර සම්පත් මහතාට අවධාරණය කරමින් ලිපියක්ද පසුගිය 04 වැනි දින නිකුත් කර ඇත.

චාමර සම්පත් දසනායක  මහතා මීට වසර කීපයකට පෙර ඌව පළාත් මහ ඇමති ධූරය හොබවන අවධියේ  බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරිය විසින් තමන්ගේ ලිපියකට පාසලට දරුවෙකු ඇතුළත් කර නොගත්තායි උරණ වී අදාළ විදුහල්පතිවරිය මහ ඇමතිවරයාගේ නිල නිවසට ගෙන්වා බැණ තර්ජනය කර, දණ ගස්සවන ලදී.

ඒ පිළිබඳව හෙළිදරව් වී මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟින්  අදාළ විදුහල්පතිනිය විසින් එවැනි  සිදු වීමක්   සිදු නොවූ බවට මුලදී  පවසා සිටියද, පසුව විදුහල්පතිනිය  සිද්ධිය පිළිබඳව සම්පූර්ණයෙන්ම මාධ්‍ය  වෙත ප්‍රකාශ  කළාය. මීට පෙර එවැනි සිදු වීමක් සිදු නොවූ බවට ප්‍රකාශ කර සි‌ටියේ මහඇමති චාමර සම්පත්ගේ හා පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වලගේ තර්ජන කිරීම් හා බල කිරීම් හේතුවෙන් බව ද ඇය ඒ අවස්ථාවේදී ප්‍රකාශ  කළාය.

එවකට පළාත් අධ්‍යාපන ලේකම්වරිය ූ සන්ධ්‍යා අඹන්වල මේ වන විට ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සභාපතිවරියයි.

පසුගිය වසරේ ජූලි මස 17 වැනි දින රාජ්‍යය අමාත්‍යය  චාමර සම්පත් දසනායක මහතා එප්පාවල පිහිටි ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාව සහභාගී වී එම ආයතනයේ සැපයුම් නිළධාරී අශෝක අබේසිරි නම් නිළධාරිවරයාට ද තර්ජනය කළ අතර ඒම නිලධාරීවරයා සේවකයින් පිරිසකගේ පහරදීමකට ද ලක් විය.මේ වන විට එම සැපයුම් නිලධාරිවරයා සේවයෙන් ඉවත් කර ඇති අතර, ඔහු  විසින් අදාළ සිදුවීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වාර්තා විය.

Social Sharing
පුවත්