පොලිසියට මානව හිමිකම් අමතක වෙලා ද?

පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකා පොලිසියට මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම නොරහසකි. වත්මන් පොලිස්පති ද මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කල නිලධාරියෙකු බවට අධිකරණය තීරණය කිරීමෙන් පසුව නඩුකරයන් කිහිපයක් සමථය කර ගැනීම සඳහා අදාළ වින්දිතයින්ගෙන් වැඳ සමාව ගැනීමට පොලිසියට සිදුවීම ඉන් කැපී පෙනන සිද්ධි කිහිපයකි. මෙම සිදුවීම් වලින් පෙනී යන එක් දෙයක් වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ වෘත්තියභාවය තව තවත් පරිහානියට පත් වන බවයි.

BBC සිංහල වෙබ් අඩවියේ ලිපියකට අදහස් දක්වමින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීති උපදේශක නීතීඥ දුලාන් දසනායක මහතා පවසා සිටියේ පොලිස් නිලධාරින් පුහුණු කිරිමේ දී මානව හිමිකම් හා මුලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධව ඔවුන්ව දැනුවත් කරන බව ය.

මුලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම රටේ නීතිය පාලනය සහතික කරන නිලධාරින්ගේ වගකීමක් වුවද පොලිසිය ඒ පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැතැයි, නීතිඥවරයා චෝදනා කර සිටියේය.

“පොලිසිය කරන වධ හිංසා ගැන ඉතාම අල්ප ප්‍රමාණයක් තමයි නඩු කියන්නේ. ඊට වඩා වැඩියෙන් මුලික අයිතිවාසිකම් කඩවිම් විශේෂයෙන් වධ හිංසා පැමිණවිම් තිබෙනවා. මානව හිමිකම් කොමිසමේ සංඛ්‍යාලේඛන ගත්තත් පොලිසියේ මුලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධ පැමිණිලි තමයි වැඩිම.”

විවිධ මෙහෙයුම් හරහා පොලිසියට ඉලක්ක ලබා දීම ද මානව හිමිකම් කඩවීමට ප්‍රධාන හේතුවක් බව ද නීතිඥවරයා සඳහන් කළේය.

මානව හිමිකම් විහිළුවට ලක් නොකර වඩා වෘත්තිය භාවයකින් යුත් පොලිස් සේවයක් හරහා මෙම ගැටලුව විසඳා ගත හැකි වනු ඇති බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක පැවසීය.

මීට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අප්‍රේල් 3 වැනිදා පැවැත්වු මාධ්‍ය හමුවක දී ඒහි කොමසාරිස් නිමල් පුංචිහේවා කියා සිටියේ 2024 මේ දක්වා පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

2023 වසරේ පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබේ. අත්අඩංගුවට ගැනීමට යාමේදී 11 දෙනෙකු මරණයට පත්ව ඇත.

“කෙනෙක් රාජ්‍යයේ අත්අඩංගුවට ගත්තයින් පස්සේ ඔහුගේ ආරක්ෂාව සැපයිමේ වගකීමත් රාජ්‍යයට, ආණ්ඩුවට තියෙනවා.” යැයි කොමසාරිස්වරයා අවධාරණය කළේය.

“අපි කිව්වේ නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න, නීතියෙන් පිටස්තරව ක්‍රියා කරන්න එපා කියලා.”

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනිම් සම්බන්ධව පැමිණිලි 44ක් ලැබී ඇතැයි පැවසු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා ඒ පිළිබඳව විමර්ශන සිදුවන බව ද සඳහන් කළේය.

“මේ රටේ මේ තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම බරපතල කාරණයක්, සමාජ ව්‍යසනයක්, ඒක අද පාසල්වලට පවා පැතිරිලා ඒක අනාගතය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් හැටියට තියෙනවා. ඒක නිසා පොලිසියට වගකීමක් තියෙනවා, පොලිසියට බලතල තියෙනවා ඒක වළක්වන්න. අනිත් එක ඒක වැළැක්වීම ආණ්ඩුවේ වගකීමක්. නමුත් ඒ වගකීමේ බලතල ක්‍රියාත්මක කරනකොට, ක්‍රියාත්මක කරන්න ඕනේ කොහොමද කියලත් නීතියේ තියෙනවා. කොමිසම විදියට අපි කිව්වේ නීතියට අනුව ක්‍රියාත්මක වෙන්න, නීතියෙන් පිටස්තරව ක්‍රියා කරන්න එපා කියලා.”

තවදුරටත් අදහස් දැක් වූ නිමල් පුංචිහේවා මහතා පවසා සිටියේ “කොමිසම හැටියට අපිට තියෙන්නේ මාර්ගෝපදේශ ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කරන මාර්ගෝපදේශ අනුව කටයුතු කිරිම තමයි ඒ අයගේ වගකීම වෙන්නේ. එතකොට ඒ මාර්ගෝපදේශ අනුව කටයුතු නොකර කෙනෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඒක පැමිණිල්ලක් හැටියට අපට ඉදිරිපත් කළාම ඒක මුලික අයිතිවාසිකම් කඩ කිරිමක් හැටියට සලකළා අපි විභාගයට කැඳවනවා.”

මානව හිමිකම් කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි බොහෝමයක්ම පොලිසිය විසින් නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම සම්බන්ධ පැමිණිලි බව කී කොමසාරිස් නිමල් පුංචිහේවා ඒ අතර අත්අඩංගුවට ගැනීම් හා පහර දීම් සම්බන්ධ පැමිණිලිත් ලැබී ඇති බව පැවසීය.

Social Sharing
නවතම පුවත්