ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?

child law in sri lanka

ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට අනුව වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු සැලකෙන්නේ දරුවෙකු ලෙසයි. වයස අවුරුදු 18ට වඩා අඩු අයට විවාහ වීමට ද අවසර නොමැත.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට අනුව වසය අවුරුදු 16ට වැඩි ගැහැණු දරුවෙකු සමඟ, ඇගේ එකඟතාවය හෝ කැමත්ත මත යම් පුද්ගලයෙකු විසින් ලිංගිකව හැසිරීම සලකන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසයි. එය “ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය” ලෙස හඳුන්වයි. එවැනි සිදුවීමක් වාර්තා වීමේ දී එය ස්ත්‍රී දූෂණයක් ලෙස සලකා දඬුවම් ලබා දීම සිදු විය.

කෙසේ නමුත් මෙම තත්වය ලිහිල් කිරීමට මේ වන විට අධිකරණ අමාත්‍යාංශය විසින් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ.

මොකක්ද මේ කෙටුම්පත

වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් සමඟ ලිංගිකව හැසිරීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ය’ යන නීතිය වෙනස් කරමින්, වයස් අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවන් සිය කැමැත්තෙන් වයස අවුරුදු 22 දක්වා පිරිමි පුද්ගලයෙකු සමඟ ලිංගිකව හැසිරුණු අවස්ථාවක දී එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස නොසලකා දඬුවම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳ කෙටුම්පතක් පිළිබඳ ව 2024 මාර්තු 20 දින පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් කැඳවා තිබුණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතීඥ තලතා අතුකෝරළ සභාපතීත්වය දරණ කාන්තාවන් සහ ළමුන් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් කැඳවා තිබූ මෙම සාකච්ඡාවට, ජාතික ළමාරක්ෂණ අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සායනික මනෝවෛද්‍යවරුන් හා ළමා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥයන් රැසක් එක් වී සිටි බව ජාතික ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ එම කමිටු රැස්වීමට සහභාගී වී සිටි සියලු දෙනාගේ ඒකමතික තීරණය වූයේ මෙම සංශෝධනය නොකළ යුතු බව ය.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට අනුව වසය අවුරුදු 16ට වැඩි ගැහැණු දරුවෙකු සමඟ, ඇගේ එකඟතාවය හෝ කැමත්ත මත යම් පුද්ගලයෙකු විසින් ලිංගිකව හැසිරීම සලකන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසය

‘අපි මේ සංශෝධනයට එකඟ නෑ’

ජාතික ළමාරක්ෂණ අධිකාරිය ඉහත කී සංශෝධනයට එකඟ නොමැති බව කමිටුව හමුවේ දැනුම් දුන් බව ආචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ ය. “ගැහැණු දරුවාට වයස අවුරුදු 14 – 16 අතර වුණත් අපට එය අපරාධයක් නොවෙයි කියලා සලකන්න බෑ. ඒ නිසා අපි මේ යෝජනාවට එකඟ නැති බව දැනුම් දුන්නා. 18ට අඩු අය පමණයි ළමුන් හැටියට සලකන්නේ. නමුත් මෙතැන අවුරුදු 22ක් කියන්නෙ 18 සිට 22 දක්වා වයස් කාණ්ඩ හතරක වැඩිහිටියන් ලෙස සලකන පුද්ගල කණ්ඩායම් හතරක් ඉන්නවා. ඒ තරම් ලොකු ප්‍රමාණයකට දඬුවම් ලිහිල් කරන්නේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා,” සභාපතිවරයා පෙන්වා දුන්නේ ය. සභාපතිවරයා පැවසුවේ මෙම සංශෝධනය සඳහා සාධක වශයෙන් අධිකරණ තීන්දු කිහිපයක් ඉදිරිපත් කර තිබූ බවයි.

කමිටු සභා වාරයේ දී කිසිවෙකු මේ සංශෝධනයට එකඟතාවය පල නොකළ බව අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දීමට කටයුතු කරන බවට කමිටුව අවසානයේ ප්‍රකාශය වූ බව සභාපතිවරයා වැඩිදුරටත් ඔඑන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දැඩි විරෝධය

වෛද්‍ය විද්‍යාත්මක කරුණු පදනම්කරගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය දක්වා තිබේ.

ළමා ගැබ්ගැනීම් ඉතාමත් අවධානම් සහගත බව ඔවුහු එයින් පෙන්වා දී තිබේ.

මෙම පනත් සංශෝධනයෙන් එවැනි අවධානමකට ඉඩකඩ ලබා දීම නිසා මෙය වහාම නවත්වා දැමිය යුතු බව ඔවුන්ගේ මතයයි.

2023 සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා ළමා මවුවරුන් 22ක්

ආචාර්ය උදය කුමාර පෙන්වා දෙන්නේ පසුගිය වසරේ එනම්, 2023 වසරේ සැප්තැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නිසා ගැබ් ගත් දැරියන් සංඛ්‍යාව 22ක් බවයි. ඔවුන් සියලු දෙනා වසය අවුරුදු 13 -15 වයස් කාණ්ඩයේ අය බව ඔහු පැවසුවේ ය.

“ළමා අපචාර සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරියට වඩා පැමිණිලි ලැබෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. පොලිසියට 2022 වසරේ ලැබී තිබෙන ස්ත්‍රී දූෂණ පැමිණිලි අතුරින් 167ක් ගැනෙන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ ඛාණ්ඩයට. 2023 වසරේ පැමිණිලි 1639ක් අතරෙන් 51ක් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ. නමුත් මතක තබා ගත යුතුයි මේවා වාර්තා වන සිදුවීම් පමණයි කියන එක. 2023 සැපැතැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා මාස තුනක කාලයේ පමණක් ගැබ්ගත් ළමා මවුවරුන් සංඛ්‍යාව 22ක්. ඔවුන් වයස අවුරුදු 13ත් 15ත් අතර පසුවෙන අය.”

ශ්‍රී ලංකාවේ විවාහ නීතිය අනුව දෙදෙනෙකුට නීත්‍යානුකූලව විවාහ විය හැකි වන්නේ වයස අවුරුදු 18න් පසුව නමුත් ලිංගික හැසිරීමකට කැමැත්ත දීමේ වයස අවුරුදු 16 වන විට 16 හා 18 අතර කාලයේ ඇති හිස්තැන සම්බධයෙන් ද ආචාර්යවරයා අදහස් පළ කළේ ය.”මේ සම්බන්ධයෙන් ලොකු සාකච්ඡාවක් පවතිනවා. ඒ ගැන අධ්‍යනයක් කරලා තීරණයක් ගන්න අවශ්‍යයි.”

පොළඹවාගැනීම හා කැමැත්ත වෙන් කරන්නේ කොහොම ද?

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම හා ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාකරන සංවිධානයක් වන බකමූණෝ සංවිධානයේ ආරම්භක පබා දේශප්‍රිය විමසන්නේ අවුරුදු 14ත් 16ත් අතර දැරියන් කැමැත්තෙන් ලිංගිකව හැසිරෙනවා ද එසේත් නැතිනම් එය පොළඹවාගැනීමක් ද යන්න වෙන් කර හඳුනාගත හැකි වන්නේ කෙසේද යන්නයි. “වයස අවුරුදු 14 කියන්නේ දැරියන් වැඩිවියට පැමිණෙන වයස. මේ කාලයේ දී ඔවුන්ට ලිංගික ආකර්ෂණයක් දැනෙන එක ස්වභාවිකයි. ඇතිවෙන කුතුහලය නිසා සමවයස් කණ්ඩායම් සමඟ මේවා ගැන කතා කිරීම, සෙවීම සහ අවුරුදු 22ක වැඩිහිටි පිරිමියෙකුගෙන් වෙන්න පුළුවන් අපයෝජනයක්, පොළඹවාගැනීමක් වෙන් කර හඳුනාගන්නේ කොහොම ද කියන ගැටළුව තියෙනවා.”

ඇය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 14ක දැරියකට ලිංගිකව හැසිරීමට කැමැත්ත පල කළ හැකි ද යන්න ප්‍රශ්නාර්ථයක් බවයි. “වයස අවුරුදු 14ක දරුවෙකුට තමගේ ශරීරය ගැනවත් තමන්ගේ කැමැත්ත කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් නෑ. පාසලේ දී තමන්ගේ ශරීරය ගැන, ලිංගික අධ්‍යාපනය තබා කවුරු හරි අකමැති දෙයක් කරන්න ආවොත් එපා කියලා එතැනින් දුවන්න කියන සරළ අධ්‍යාපනවත් දෙන්නේ නෑ. කුඩා කාලයේ ඉඳන් ම දෙමවුපියන් වුණත් දරුවන්ට බල කනවා නෑදෑයන්ව ඉඹින්න කියලා. පොඩි කාලෙදිම දරුවන්ට තමන්ගේ ශරීරය ගැන අයිතියක් තියෙන බවට හැඟීමක් නෑ.”

ඇය පෙන්වා දෙන්නේ කැමැත්ත කුමක් ද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබිය දී කැමැත්ත ලබා දීමට වයස අවුරුදු 14 දී හැකිය යන්න ගැටළුවක් බවයි.

“කුරුණෑගල අපට හමුවුණ දැරියක් ව හතර දෙනෙක් එකතුවෙලා අපයෝජනය කරලා තිබුණේ ඇයට කොත්තුවක් අරන් දීලා පොළඹවාගෙන. ඒ විදිහට පොළඹවාගැනීම් වල දී එහෙනම් ඒ අපයෝජනය සිදු වෙලා තියෙන්නේ දරුවාගේ කැමැත්ත ඇතුව කියලා ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තමයි දරුවා දන්නේ නෑ කැමැත්ත කියන්නේ මොකක්ද කියලා සහ අකමැති නොවී ඉන්නේ කොහොම ද කියලා.”

‘අපයෝජකයන්ට රිංගා යා හැකි සංශෝධනයක්’

එමෙන් ම ඇය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 22 දක්වා පිරිමි පුද්ගලයන් හට දඬුවම් ලිහිල් කිරීම අපයෝජකයන් හට ගැලවීමට අවස්ථාවක් ලබා දෙන්නක් බවයි.

පවතින නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු පිරිමි ළමයෙක් අතින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් සිදුවුණොත් වසර 10ක සිර දඬුවමක් ලබා දෙන්නේ. මේ සංශෝධනයෙන් යෝජනා කරන්නේ ඒක වයස අවුරුදු 22ක් දක්වා වැඩි කරන්නනේ. වයස අවුරුදු 22ක කෙනෙක් කියන්නේ විවාහක පුද්ගලයෙක් වුණත් වෙන්න පුළුවන්. මෙතන ලිහිල් කර තිබෙන පරාසය ඉතා වැඩියි. ඒ නිසා මෙයින් අපයෝජකයන්ට රිංගන්න අවස්ථාවක් හදලා දෙනවා,” පබා පවසයි.

පාර්ශව රැසක දැඩි විරෝධය

යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් ම විරෝධය දක්වා තිබුණි.

2024 මාර්තු 20 දින ජාතික සංවිධාන එකතුව විසින් පැවැත් වූ මාධ්‍ය හමුවක දී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙම සංශෝධනය දැඩිව ප්‍රතික්ෂේප කළේ ය.”මෙම සංශෝධනය අපි දකින්නේ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දූෂණ ළමා අපචාර ප්‍රචලිත කරන්න හදන උත්සාහයක් විදිහට.මේ වෙලාවේ මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නයක් ද මේ කරන්න හදන්නේ? කවුද මේ සංශෝධන කරන්න කියලා ඉල්ලන්නේ?” මහලේකම්වරයා විමසුවේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ විරෝධය

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා 2024 පෙබරවාරි 09 වැනි දින ගැසට් කොට ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තියට සිදුකිරීමට යෝජිත සංශෝධනය පිළිබඳව තම දැඩි කනස්සල්ල පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් සිය ලිපියෙන් දන්වා ඇත.

එමෙන්ම මෙරට කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා යුක්තිය තහවුරු කරන ලෙසත් මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු හෝ විකල්ප යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිය සංසදය ඕනෑම අවස්ථාවක සූදානම් බවද ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය තවදුරටත් සිය ලිපියෙන් දන්වා තිබේ.

“ඉල්ලා අස් කරගන්නවා” අධිකරණ ඇමති කියයි

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මාර්තු 23 දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2024/2025 නීතිඥ සභා රැස්වීම සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 50 වන සංවත්සරය වෙනුවෙන් තලවතුගොඩ පැවති උත්සවයකට එක්වීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමිනි.

“දණ්ඩ නීති සංග්‍රහයේ පවතින විධි විධාන අනුව වයස අවුරුදු 16 කට අඩු දැරිවියකට ලිංගික හිංසනයක් කිරීම හෝ කායික සබදතාවයක් පවත්වා ගනු ලබන තැනැත්තෙකුට එරෙහිව ලබාදිය යුතු අවම අනිවාර්ය දඩුවම් ප්‍රමාණයක් පවතිනවා. බොහෝ අවස්ථාවලදී අවුරුදු 14 ට වැඩි අවුරුදු 16ට අඩු දැරිවියන් ඒ අය ආදර සම්බන්ධතා පවත්වා ගෙන යනු ලබන අය සමග මෙවැනි තත්ත්වයන්ට මුහුණ දී ඇති බවට වන වාර්තා හේතුවෙන් වසර තුනක් හතරක් පමණ අධ්‍යනය කරලා අධිකරණ අමාත්‍යාංශයට නිර්දේශයක් ඉදිරිපත් කර තිබුණා දණ්ඩ නීති සංග්‍රහයේ දඩුවම් ලබාදීමේ ක්‍රමවේදය යම් කිසි ආකාරයකට සංශෝධනය කරලා අභිමතය පරිදි පවතින තත්ත්වය අනුව සුදුසු දඬුවමක් නියම කරන්න විනිසුරුවරයාට අවස්ථාව දෙන්න කියලා,” අමාත්‍යවරයා පවසා තිබේ.

“නමුත් මෙම පනත ඉදිරිපත් කිරීමෙන් පසුව සමාජයේ බොහෝ සිවිල් ක්‍රියාකාරීන් කාන්තා සංවිධාන මෙම පනත සම්මත කිරීම අත්හිටුවන ලෙස මගෙන් ඉල්ලීමක් කළා.ඒ අනුව මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළ අවස්ථාවේ නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නා මේ පනත ඉදිරියට ගෙන යන්නේ නැහැ කියලා. ඒ අනුව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. සාකච්ඡා කිරීමෙන් පසුව කරනු ලබන සංශෝධන කුමන ආකාරද යන්න පිළිබදව තීරණයක් ගත හැකියි. ඉදිරිපත් කළ පනත් කෙටුම්පත ඉදිරියට ගෙන යන්නේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. එය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරනවා.”

“මේ පනත ඉදිරිපත් කළේ මා විසින් කරනු ලැබු අධ්‍යනයකට අනුව නෙවෙයි. විනිසුරුවරුන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පනත ඉදිරිපත් කළා එය තවදුරටත් සාකච්ඡා කරනවා. ඉදිරියේ තවත් පනත් 60 ක් පමණ ගෙන එනවා. ඒ සෑම පනතක්ම ගෙන එනු ලබන්නේ නීතිපතිවරයාට ඉදිරිපත් කර ව්‍යවස්ථානුකූලභාවය තහවුරු කිරීමෙන් පසුවයි,” අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

(BBC සිංහල සේවය)

lankaleader.lk

Social Sharing
අවකාශය නවතම විශේෂාංග