වරාය නගරය අපේ රට දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට සාක්ෂියක් – අගමැති දිනේෂ් ගුණවර්ධන…

කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානය අපේ රට දියුණු ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ සාක්ෂියක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

අගමැතිවරයා මේ බව පැවැසුවේ කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඇරඹීමේ උත්සවයට පෙරේදා (12) එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙලෙස ද කීවේය.

“මෑත කාලයේ අපේ රට වඩාත්ම අභිලාසකාමී සංවර්ධන ව්‍යාපෘතියේ ආගමනය සනිටුහන් කරන වැදගත්ම සිදුවීම මෙයයි. වසර දහස් ගණනක සිට අපේ රට වෙළෙඳ සහ ආයෝජන සඳහා ඓතිහාසික කේන්ද්‍රස්ථානයක්වී තිබෙනවා. මේ උපායමාර්ගික පිහිටීම අපේ රටට ඇති ලොකුම වාසියයි.

කොළඹ වරාය නගරය යනු මෙරට ආර්ථික සහ සමාජීය භූ දර්ශනය යළි නිර්වචනය කිරීම අරමුණු කර ගත් ඩොලර් බිලියන ගණනක දූරදර්ශී ව්‍යාපෘතියක්. අපේ රටේ අගනුවර වන කොළඹ හදවතට යාබදව ගොඩනඟන ලද භූමියක ඉදිකරන ලද කොළඹ වරාය නගරය විශ්වීය ජීවන රටාවක්, ලෝක මට්ටමේ යටිතල පහසුකම් සහ තිරසර ජීවන රටාවක් දෙනවා.

අපි ව්‍යාපාරවලට නව්‍යකරණය සඳහා කදිම පරිසරයක් ද දෙනවා. අපේ රට කලාපයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමට නියමිතයි. කොළඹ වරාය නගරය නිසැකවම එම ක්‍රියාවලිය වේගවත් කරනු ඇතැයි මට විශ්වාසයි. දකුණු ආසියාවේ දොරටුව සහ නැඟෙනහිර සහ බටහිර සඳහා මධ්‍යම කේන්ද්‍රස්ථානය ලෙස එහි අපේක්ෂා තවදුරටත් තහවුරු කරමින්, අප විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ සමඟ කොළඹ වරාය නගරය කලාපයේ ව්‍යාපාර කිරීමට පහසුම ස්ථානයක් බවට පත්වන බව නොඅනුමානයි.”

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, චීන තානාපති කිව් සෙන්හොන් මහත්වරු ද උත්සව සභාව ඇමතූහ. ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති දිනේෂ් වීරක්කොඩි, වරාය නගර නිලධාරීන් සහ Czech Port City Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොන්ග්ෆෙන්ග් (Xiong Hongfeng) මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

Social Sharing
ආර්ථික නවතම පුවත්