අවිස්සාවේල්ලේ බොන වතුරට ජනතා විරෝධය…

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් අවිස්සාවේල්ල නාගරික කලාපය වෙත ලබා දෙන ජලය බීමට නොහැකි තත්ත්වයේ පවතින බවට පවසමින් එම ජනතාව ඊයේ (13) උදෑසන විරෝධතාවක නිරත වූහ.

අවිස්සාවේල්ල නාගරික කලාපය සඳහා ජලය ලබා දීමට වර්ෂ 1970දී පමණ කැලණි ගඟේ ටැංකියක් ඉදිකළ ද පසුකාලීනව එය කැඩී යාමත් එම ටැංකියට ඉහළින් කැලණි ගඟේ පතල් කැපීම නිසාවෙන් ජලය ලබා ගන්නා ස්ථානයට රොන් මඩ එකතු වීමත් නිසා මෙලෙස බීමට නොහැකි තත්ත්වයේ දුඹුරු පැහැති ජලය ලැබෙන බව ද විරෝධතාකරුවෝ පවසති.

මේ පිළිබඳව කාලයක සිට බලධාරීන් දැනුම්වත් කළ ද කිසිඳු ප්‍රතිචාරයක් නොදැක් වූ නිසාවෙන් පසුගිය වර්ෂයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද දැනුම්වත් කළමුත් මේ වනතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවද ඔවුහු පවසති.

මේ වනවිට පවතින වියළි කාලගුණ තත්ත්වය නිසාවෙන් කැලණි ගඟේ ජලය විශාල වශයෙන් අඩු වී තිබීමෙන් වර්තමානයේ දී තමන්ට ලැබෙන ජලය කිසිසේත් පාවිච්චි කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි

Social Sharing
නවතම පුවත්