උතුරේ සිට උතුර ගැන (නොලියපු ලියමන් ) “ඉතින් එයා නැතුව මට මොකටද මරණ සහතික”

aithiya

වර්ග කිලෝමීටර 65610ක දෙකෙළවරේ ඛේදවාචකය පිළිබද මෙසේ ලියා තබමි.

“හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්නට කොළඹට යන්නැ” යි කුඩා කල පටන් මනසට කාවැද්දූ දකුණේ සිංහල පවුලක මට, තවත් කිලෝමීටර 442 ක් පමණ ඈතින් තිබූ උතුර ගැන කිසිදු අදහසක් හෝ හැගීමක් නොතිබීම ගැන සැබවින්ම මම කණගාටු වෙමි.
මෙහි “මම” යනු හුදෙක් මා පමණක්ම නොවන අතර සමස්ත දකුණේ සිංහලයාගේ නියෝජනයක් ලෙස සිතුවාට ද වරදක් නැත.

පාසලේ දී ලංකා සිතියමේ ලකුණ කල උතුරු පළාතේ දිස්ත්‍රික්ක හා කලාතුරකින් ප්‍රවෘත්ති විකාශයක පෙන්වූ උතුරේ සිදුවීම්වල රූප රාමුවලින් පමණක් උතුර ගැන, මා මවාගත් ප්‍රතිරූපය, යතාර්ථයට වඩා බොහෝ වෙනස් බව වටහා ගැනීමට මට අවුරුදු 22 ක් වන තුරුම කල්මැරීමට සිදුවීම ද මේ ඛේදවාචකයේ තවත් පුරුකකි.

රූපවාහිනියෙන් දුටු යුධ පුවත් හැරුණු කොට 2009 න් පසු උතුර පිළිබඳ කතාබහක් දකුණේ අපිට කන වැකුණේ නැති තරම්ය…ඒ නිසාම උතුරත්, දකුණත් අතර මැද බැදුණ පවුර තවත් වර්ධනය වී අද වන විට එකම රටක් තුල බෙදී ගිය රටවල් දෙකක් සේ දුරස්ව ගොසිනි.

යුද්ධය අවසන් වුවද උතුරේ දමිළ සොහොයුරන් අතර තවමත් ජීවමානව සැරිසරන බියකරු අදුරු සේයා, දකුණට නෑසුන ඔවුන්ගේ කඳුලු කතා, වේගයෙන් ස්පන්දනය වන ඔවුන්ගේ හදවත්වල ශබ්ද සිංහලයාගේ කනට ඇසිය යුතුමය….එමනිසා ජාති, ආගම්, භාෂා බේද නොතකා අපි ඔවුන් වෙනුවෙන් නැගී සිටිය යුතුය..
සිංහලයාගේ හෘද ස්පන්දනය උතුරේ දමිල මිනිසුන්ගේ හදවත් සමග අනුනාද විය යුතුයමය.

හදවත් දෙකක් අතර සිදුවන සංනිවේදනය ලොව ප්‍රබලතම සංනිවේදන බව මට වැටහුණේ උතුරේදී ය…
ඒ මගේ හදවතත්, තම අතුරුදන් වූ දරුවා වෙනුවෙන් කඳුලු පුරවන් විලාප නගන දමිළ මවකගේත් හදවතත් එකම රිද්මයට ගැහෙන්නට ගත් මොහොතේය.

පසුගිය දිනක, ඇය මා තදින් වැලද ගත්තාය…ඒ වැලදගැනීම මා ජීවිතේ එතෙක් මා අත්විදි වගකීම් සහගතම, බර වැඩිම වැලදගැනීම බව මට විශ්වාසය. වගකීම, වගවීම, ප්‍රශ්නාර්ථ හා ආදරය මිශ්‍ර වූ ඒ වැලදගැනීම මගේ අවසන් හුස්ම තෙක් මගේ හිතට වද දෙන හැගීමක් වීම වළක්වන්නට නොහැකි වනු ඇත.

ඇගේ මැලවී ගිය මුහුණ, අවුරුදු ගණනක වේදනාව, කම්මුල් දිගේ රූරා හැලෙන කඳුලු, තම දරුවා වෙනුවෙන් තවමත් පණ ගැහෙන හදවත ඇගේ වේදනාවේ හවුල් කරුවෙකු බවට, මා පත් කරගැනීමට සමත් විය.

“අම්මා නාන් රොට්ටුකු පොයිටු වාරෙන්”

ඉක්මනින් එන්නම් කියා පාරට ගිය ඔහුට සිදුවූයේ කුමක්දැයි අබිරහසකි.

යුක්තිය ඉල්ලූ ඇයට යුක්තිය වෙනුවට මරණ සහතික දෙන්න දැයි අහන රාජ්‍යකින් තම දරුවා ගේ ජීවිතය ගැන විමසීමේ වරදට ඇය තවමත් මසකට වරක් පොලිසිය බැහැදැක එයි.

“ඉතින් එයා නැතුව මට මොකටද මරණ සහතික”
අවසන් වරට ඇය කීවේ එපමණය ….

ප්‍රශ්නය තවමත් එලෙසමය …..උතුරේ ප්‍රශ්න උතුරේ ය…දකුණට තව බෝ දුරය…..

අධිවේග මාර්ග තැනිය යුත්තේ උතුරෙන් දකුණට ය! යුක්තියටය.. !! සත්‍යයට ය…!! සාධාරණත්වයටය!!!

“ඇය” තවත් එක් අයෙක් නොව ඒ ඔබේ මවය… තවමත් වගතුවක් නැත්තේ “ඔහු” ට නොව …ඔබේ සොහොයුරාට ය….

ඉතින්,

“යුක්තිය”
එය අවැසි ” අපිට ” ය….

අශ්කා ප්‍රබූධි (ACTNowSL)

Social Sharing
අවකාශය නවතම