උතුරු මැද හිටපු මහ ඇමැතිට එරෙහි නඩුවේදී අල්ලස් කොමිසම වටේ යනවා…

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට එරෙහිව තම අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ පැමිණිල්ල එම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව සාක්‍ෂි මෙහෙයවන බව පෙනී යන්නේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (12දා) විවෘත අධිකරණය හමුවේදී පැවසීය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති චෝදනා සනාථ කළ හැකි සාක්‍ෂි ඍජුව ඉදිරිපත් නොකොට වැල්වටාරම් විමසමින් කාලය වැය කරන බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කිරීමට තමාට සිදුවන බවද පැවසූ විනිසුරුවරයා නඩු පොත වහාම අධ්‍යනය කර පැමිණිල්ල ගොනු කර ඇති චෝදනා සනාථ කළ හැකි ආකාරයෙන් සාක්‍ෂි මෙහෙයවන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට තමා යෝජනා කරන්නේ යැයි ද පැවසීය. දෙවන විත්තිකාරියට ඇගේ තනතුරට අදාළ ඉන්ධන දීමනාවට අමතරව වැඩිදුර මුදලක් ගෙවා ඇති ද එසේ නම් කුමන වකවානුවේ කොපමණ මුදලක් ද යන කරුණ සනාථ කළ හැකි සාක්‍ෂි සාක්‍ෂිකරුවන් මගින් තහවුරු කිරීම පැමිණිල්ලේ වගකීම වන්නේ යැයි ද විනිසුරුවරයා පැවසීය.

පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක හා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඊයේ (12දා) අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදුන් අතර එහිදී පැමිණිල්ල මෙහෙයවූ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා ඔවුන් වෙත ලේඛන කීපයක් ඉදිරිපත් කර සාක්‍ෂි මෙහෙයවූ අයුරු නිරීක්‍ෂණය කළ විනිසුරුවරයා නඩු විභාගය අත්හිටුවා එලෙස ප්‍රකාශ කළේය. එම නඩුව ලබන මාර්තු 15 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේය. 2012.09.27 වැනිදා සහ 2014.12.31 වැනිදා කාලය අතරතුරදී උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ දෙවන විත්තිකාරියට රුපියල් ලක්‍ෂ 26කට අධික ඉන්ධන දීමනාවක් ලබාගැනීමට ඉඩ දීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිෂන් සභාව එම නඩුව පවරා තිබිණි.

නීතිඥ චින්තක උඩදෙණිය, සහන් වීරසිංහ, සුදර්ශ සිල්වා, නීතිඥ මඬුල්ල සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Social Sharing
නවතම පුවත්