උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ නිදහස් ඔප්පු 10,000 ක්

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු 10,000 මේ වන විට සකස් කර අවසන් බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය පවසයි.

එම සින්නක්කර ඔප්පු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් ඒච්. ඒම්. බී.පී. හේරත් මහතා පැවසුවේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ලබන පෙබරවාරි 05 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්ය.

සියලූම ඔප්පුලාභීන්ට කිසිදු අපහසුතාවකින් තොරව මෙම උත්සවයට සහභාගීවීමට පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

මෙම වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.

Social Sharing
නවතම පුවත්