අස්වැසුම සහන දිගු කරයි….

අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් කාණ්ඩ දෙකක් සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය මේ වසර අග (2024.12.31 දා) දක්වා දීර්ඝ කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.

මේ අනුව අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය 2024.04.01 වැනිදා සිට 2024.12.31 දා දක්වාත්, සංක්‍රාන්තික සමාජ කාණ්ඩය (ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආදායම් පහළ වැටී ඇති කාණ්ඩය) සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය 2024.01.01 සිට 2024.12.31 දක්වාත් දීර්ඝ කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මෙසේ අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා දැනට ක්‍රියාත්මක කරනු ලැබ ඇති අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ වෙනස්කම් අනුව දැනට පවත්නා අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය හා සංක්‍රාන්තික සමාජ කාණ්ඩය (ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආදායම පහළ වැටී ඇති) යන කාණ්ඩ දෙක ඒකාබද්ධ කර පවුල් ලක්ෂ අටක් සඳහා අවදානමට ලක් වූ කාණ්ඩය ලෙස 2024.01.01 දින සිට සැලකීම සහ එම පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් එදින සිට 2024.12.31 දින දක්වා ගෙවීමට නියමිතය.

මේ අතර තොරතුරු සහතික කිරීමේ ක්‍රියාවලියකින් පසුව අස්වැසුම පවුල් ලැයිස්තුවට අයත් හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගී පුද්ගලයින් සඳහා රුපියල් 7500 ක්, ආබාධිත පුද්ගලයින් සඳහා රුපියල් 7500 ක් හා වැඩිහිටි පුද්ගලයින් සඳහා රුපියල් 3000ක් වශයෙන් 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාසික දීමනාවක් ගෙවීමට සහ දැනට දීමනා ලබන සහ පොරොත්තු ලේඛනවල ලියාපදිංචිව සිටින හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගී පුද්ගලයින් සඳහා රුපියල් 7500ක්, ආබාධිත පුද්ගලයින් සඳහා රුපියල් 7500 ක් හා වැඩිහිටි පුද්ගලයින් සඳහා රුපියල් 3000 ක් වශයෙන් 2024.01.01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර මෙම ගෙවීම් අස්වැසුම වැඩසටහනට බාහිර වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

දෙවන වටය සඳහා අයදුම්පත් කැඳවීම 2024 පළමු කාර්තුවේදී ආරම්භ කර 2024 ජුනි මාසයේදී අවසන් කර ජූලි මාසයේ සිට ගෙවීම් සිදු කිරීම සහ අතිරේකව සුදුසුකම් ලබන පවුල් ඇතුළත් කිරීම සඳහා උපරිමය පවුල් මිලියන 2.4 ක් වන ප්‍රමාණයකින් සුදුසුකම් ලබන මුළු පවුල් ප්‍රමාණය සංශෝධනය කිරීම සඳහා ද ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Social Sharing
ආර්ථික නවතම පුවත්