අමතක නොකරමු!

ඝාතනයට ලක් වූ, අතුරුදහන් කරන ලද සහ රාජ්‍යයේ මර්ධනයන්ට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරමු යන තේමාව ඔස්සේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් අද (30) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැත්විය.

මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ පැහැදිලි කරමින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ ලේකම් නීතීඥ දුලාන් දසනායක මහතා ප්‍රකාශ කර සිටියේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට තිබෙන සියළු ආකාරයේ බාධා වලට ඔවුන් විරුද්ධ බවයි. ශ්‍රී ලංකාව තුළ යුක්තියේ ප්‍රමාදය ඉතාමත් දරුණු තත්වයක ඇති බවත් කතෘ කෙනෙකු නොමැති අපරාධ සම්බන්ධයෙන් කාලාන්තරයක සිට යුක්තිය ඉටු නොවී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මීට අමතරව ඔහු සඳහන් කර සිටියේ ලෝකයේ වැඩිම අතුරුදහන් කිරීම් වලින් දෙවනි තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි. ශ්‍රී ලංකාව් බලහත්කාරී අතුරුදහන් කිරීම් වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකරුවෙකු වූයේ 2017 දී ය. එහෙත් පාර්ශවකරුවකු වී සිටිනවාට වඩා යුක්තිය ඉටු කර ගැනීමට උත්සාහ කිරීම වැදගත් බව ඒ මහතා ප්‍රකාශ කර සිටි අතර ආයතන, නීති, සම්මුති සම්මත කරගෙන තිබුණද ඒ යාන්ත්‍රණයන් හරහා යුක්තිය ඉටු වීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය. ශිෂ්ඨසම්පන්න රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්න නම් අපරාධවලට යුක්තිය ඉටු කිරීම අත්‍යවශ්‍ය වන බවත් මේ අපරාධ සිදු කළ අය කවුදැයි අනාවරණය කරගැනීමට නීතිය අසමත් නම් රටට ඉදිරි ගමනක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

මාධවේදිනි ජයනි අබේසේකර ප්‍රකාශ කර සිටියේ දශක දෙකක් තුළ මාධ්‍යවේදීන් 44 දෙනකු ඝාතන වලට පහරදීම්වලට පහර ගැනීම් වලට සහ අතුරුදහන් කිරීම් වලට ලක්වී තිබෙන බවයි. මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකයට අනුව රටවල් 180න් ලංකාවා 135 වන තැනට පත්ව ඇති බවත් මාධ්‍ය නිදහස පිළිබඳ කාරණාවේ දී මාධ්‍යවේදීන් හැටියට ඔවුන් සිටින්නේ කොතැනද යන ප්‍රශ්නයත් මතු වී ඇතැයි ඇය ප්‍රකාශ කළාය.

මේ රටේ බලයට පත්වන ආණ්ඩු වරින් වර බලය ඉල්ලා පැමිණෙන කොට මාධ්‍යවේදීන්ගේ ඝාතන අතුරුදහන් කිරීම් පහරදීම් සම්බන්ධයෙන් ඔවුන් පෙනීසිටිනවා, විමර්ශන කරනවා කියමින් වරින් වර පොරොන්දු ලබා දී මේ ඝාතන උඩින් බලයට පත් වුණායින් පසු ඒ ආණ්ඩු ඉතාම පැහැදිලිව ඒ පොරොන්දු මඟහැර තිබෙන බව ඇය සඳහන් කළාය.

වැඩි දුර අදහස් ප්‍රකාශ කර සිටි මාධ්‍යවේදිනි ජයනි අබේසේකර සඳහන් කළේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්මත කරගැනීමට නොයෙකුත් ආකාරයේ හේතු දක්වන බවයි. ජාතික ආරක්ෂාව, ආගමික සහජීවනය සහ සංහිඳියාව නැංවීමට වගේම ළමා අපචාර සහ කාන්තා හිංසනය අවම කරන්නටත් මෙම පනත වැදගත් බව ඇමති ටිරාන් පවසා සිටිය ද කාන්තා හිංසනය සහ ළමා අපචාර නවත්තන්නට අපරාධ නීතියේ සෑහෙන ප්‍රතිපාදන ඇති බවට ඇය ප්‍රකාශ කර සිටියාය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප්‍රකාශ කර සිටියේ ගිය අවුරුද්දේ කළු ජනවාරි සැමරුමේදී ලංකාවේ මාධ්‍ය සංවිධාන මේ රටේ අතුරුදහන් කළ ඝාතනය කළ මාධ්‍යවේදීන් සිහි කරන්නට ස්මාරකයක් සෑදීමට නිදහස් චතුරස්‍රයේ තැනක් වෙන් කරගන්නවා යැයි සඳහන් කළ ද එම ප්‍රකාශය ඒ අයගේ මතකෙන් මැකී ගොස් ඇති බවයි. තවදුරටත් ඇය අදහස් කළේ බලහත්කාරී අතුරුදහන් කිරීම් වලට එරෙහි අන්තර්ජාතික සම්මුතිය ශ්‍රී ලංකාව අපරාණුමත කර ඇත්තේ එහි 30 වන වගන්තිය මඟහැර බවයි. එම වගන්තිය මඟින් සඳහන් කරන්නේ තමන්ගේ කෙනෙකු අතුරුදන් වුවහොත් අන්තර්ජාතික නීතිය හමුවට යන්නට ඇති නිදහස ය.

මෙම පිරිසට අමතරව ජනූර් කිචිලාන්, සුදේශ් ද සිල්වා, කමල් විජේහේවා සහ නිමල් අබේසිංහ යන මාධ්‍යවේදීන් ද මාධ්‍ය සාකච්ඡාවේ දි අදහස් ප්‍රකාශ කර තිබිණි..

 

Social Sharing
නවතම පුවත්