කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නෑ…

දේශපාලන කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නැතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රුපියල් කෝටි 300ක සවුදි ණය අරමුදල යටතේ අම්පාර – උහන – මහඔය මාර්ගයේ (A027) කෙවිලිය මඩුව සිට මහඔය දක්වා කොටස ප්‍රතිසංස්කරණය සහ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුකරණය පිළිබඳ විෂයානුබද්ධ අවබෝධයක් නොමැති පිරිස් සාමාන්‍ය ජනතාව තුළ වෛරය පමණක් ඇති කිරීමට කටයුතු කළ බව පැවැසූ අමැතිවරයා අර්ථ ශාස්ත්‍රය පිළිබඳ දැනුමකින් තොරව මෙම ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව කීවේය.

පසුගිය කාලය තුළම දේශපාලනඥයන් විසින් මහජනතාව බොරුවෙන් රැවටුවා මිස රටක් ආණ්ඩුකරණය පිළිබඳ සැබෑව ගැන දැනුවත් කර නොමැති බවද ඒ මහතා කියා සිටියේය.

සැබෑ යථාර්ථය වන්නේ පැවති සෑම රජයක්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, සංවර්ධනය ඇතුළු සෑම කටයුත්තක් සඳහාම වැය කළේ පුද්ගලික මුදල් නොවන බවත් මහජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් වන අතර, එම බදු මුදල් දේශපාලන කයිවාරුවලට අනුව බෙදා දිය නොහැකි බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ සඳහා නිසි ක්‍රමවේදයක්‌ තිබෙන බව පැවැසූ ඇමැතිවරයා එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය පුනරාවර්ථන වියදම් දැරීමට ප්‍රමාණවත් බදු අදායමක් කිසිම රජයකට ලැබී නැති බව කීවේය.මහඔය 69 මංසන්ධියේ පැවති සමාරම්භක අවස්ථාවේදී ඇමැතිවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්ත්තෝ ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබූහ.

දිගින් කිලෝ මීටර් 58ක් වන අම්පාර – උහන – මහඔය මාර්ගය (A027) අම්පාර සිට උහන හරහා මහඔය නගරය එකිනෙකට යා කෙරෙන ප්‍රධාන මාර්ගයයි. ශ්‍රී ලංකා රජය විසින් අම්පාර සිට කෙවිලියමඩුව දක්වා කිලෝමීටර් 33ක කොටස සංවර්ධන කටයුතු සිදු කර අවසන් කර ඇති අතර, කෙවිලියමඩුව සිට මහඔය දක්වා කිලෝමීටර් 25ක් දිගින් වූ මාර්ග කොටස ඉතා පටු හා ක්‍රමවත් කානු පද්ධතියක් නොමැති ගමනාගමනයට අපහසු මාර්ග කොටසක් වේ.

සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදල යටතේ ක්‍රියාත්මක වන බදුල්ල චෙන්කලාඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයන් යටතේ ක්‍රියාත්මක කර ඇත.බිබිල චෙන්කලාඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර් 87 මාර්ග කොටස මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති අතර, ඒ සඳහා ණය මුදල් ලෙස අ‍ෙමරිකානු ඩොලර් මිලියන 60ක මුදලක් සංවර්ධනය සඳහා වන සවුදි අරමුදල (SFD) මඟින් ලබා දී ඇත.

ඒ අනුව බිබිල – චෙන්කලාඩි මාර්ගය කි.මී. 87ක් සංවර්ධනය කර එහි ඉතිරි මුදල් භාවිතා කරමින් අම්පාර – උභන මහඔය මාර්ගය (A027) කෙවිලියමඩුව සිට මහඔය දක්වා කොන්ත්‍රාත් පැකේජ 02ක් යටතේ කිලෝමීටර් 25ක් සංවර්ධනය කිරීමට නියමිත වේ. ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන සම්පූර්ණ මුදල රු. ලක්ෂ 2,977,467,150.87කි.

මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ අතර අම්පාර හා මහ ඔය රෝහල් අතර කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට හැකි වීම, කෘෂිකාර්මික හා ඒ ආශ්‍රිත කටයුතු සඳහා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීමට හැකිවීම, මහනුවර හා මහියංගණය ප්‍රධාන නගර අම්පාර නගරය සමඟ සම්බන්ධ කිරීම, මහඔය සිට අම්පාර දක්වා ඇති කුඩා නගර ආශ්‍රිත සංවර්ධනය, පාසිකුඩා, ආරුගම්බේ වැනි ප්‍රදේශ ආශ්‍රිතව සංචාරකයන් සඳහා ලැබෙන ප්‍රවාහනයේ ගුණාත්මක පහසුව, ව්‍යාපෘති කාලය තුළ ඇතිවන ඍජු හා වක්‍ර රැකියා තුළින් සිදු වන ග්‍රාමීය ආර්ථික දියුණුව ඇතිකිරීම ප්‍රධාන වේ.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

නිදහසින් පසු සියලු රජයන් පවත්වාගෙන ගොස් තිබෙන්නේ දිගින් දිගටම ණය ලබා ගනිමින්. එලෙස ලබාගත් ණය පසුගිය වසර දෙකක කාලයක් ගෙවා නැහැ. එලෙස දිගින් දිගටම කටයුතු කළ නොහැකි බැවින් ජනාධිපතිවරයා ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ සහ ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා පවත්වමින් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ඉල්ලීම් සිදු කළා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වාරික දෙකක් ලබාගැනීමට හැකි වී තිබෙනවා. ඉතිරි ණය මුදල් ගෙවීම සඳහා එකඟතාවයකට පැමිණ තිබෙනවා. එම එකඟතාවයන් අනුව කටයුතු නොකළහොත් කවුරුන් විසින් ආණ්ඩු බලය හෙබවූවත් සති දෙකකට වඩා වැඩි කාලයක් රජයක් පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. ලෝකය අපව අත්හරිනවා. ජාත්‍යන්තරයට බොරු කරමින් රටක් පවත්වාගෙන යෑමට බැහැ. ආණ්ඩුකරණය සහ දේශපාලන කතා පැවැත්වීම යනු දෙකක්.

එවැනි ඉතාමත් අපහසුතාවයන් රාශියක් මධ්‍යයේ වුවත් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරන්නේ ද සංවර්ධනය සඳහා වූ සවුදි ණය අරමුදල් යටතේ ලැබෙන ණය මුදලින්. ඒ අනුව මෙම මාර්ගයේ කිලෝමීටර් 25ක් සංවර්ධනය සඳහා රුපියල් කෝටි 300ක ණය මුදලක්‌ ලබාගෙන තිබෙනවා. රටේ ඉදිරි පරම්පරාවන් විසින් මෙම ණය නැවත ගෙවිය යුතුයි.

මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයක් නැති ජනතාවට දේශපාලනඥයන් හොරුන් ලෙස පෙන්වාදෙමින් ජනතාව වෛරයෙන් මුසපත් කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අහිංසක මිනිසුන් විශාල පිරිසක් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් වුණා. ඉතිහාසය තුළ එල්ටීටීඊ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එලෙස කටයුතු කළා. තමන්ගේ මතයට විරුද්ධව කටයුතු කළ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු ඝාතනය කර මළ සිරුර දණහිසෙන් පහළට රැගෙන යන ලෙස නියෝග කළා. ප්‍රචණ්ඩත්වය තුළින් රටේ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් සොයා ගැනීමට හැකියාවක් නැහැ.

නිදහසින් පසු නොමිලේ ලබාදුන් බොහෝ සේවාවන් ඇතුළු සංවර්ධන කටයුතුවලට විශාල වශයෙන් විදේශ රටවලින් ණය ලබාගෙන තිබෙනවා. විදේශීය රටවල බදු ගෙවන ජනතාවගේ මුදලින් අපේ රටට ලබා දුන් එම ණය මුදල් ගෙවීමේ වගකීම අපට තිබෙනවා. එලෙස ලබාගත් ණය මුදල් නැවත ගෙවනතුරු අපට විදේශ ණය ලැබෙන්නේ නැහැ. රටට විරුද්ධව නඩු තීන්දුවක් ලැබුණහොත් ලෝකයේ කිසිදු රටක් හා ගනුදෙනු කිරීමේ හැකියාව අපට නොමැති වී යනවා. රටක් වශයෙන් සියලු දෙනා සාකච්ඡා කළ යුතු තීරණාත්මක ගැටලුවක් අප හමුවේ තිබියදී අප සාකච්ඡා කරන්නේ වෙනත් දේ පිළිබඳවයි.

මෙම ව්‍යාපෘතිය සඳහාත් ණය ලබා දී තිබෙන්නේ සංවර්ධනය සඳහා වූ සවුද ණය අරමුදල යටතේ. ඉදිකිරීම්කරුවන් සඳහා මුදල් ගෙවීම් සිදු කරන්නේ රජය නොවේ. රජයට පැවරෙන වගකීම වන්නේ අනාගතයේ එම ණය මුදල් ගෙවීමයි.

ගංවතුර හේතුවෙන් නැඟෙනහිර පළාතේ විනාශයට පත් වූ ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා ජනාධිපතිවරයා හරහා පරිපූරක ඇස්තමේතුවක් සම්මත කර ගත යුතුයි. ජනතාවගේ අවශ්‍යතාවයන් අපට ඉතා හොඳින් වැටහෙනවා. නමුත් ආණ්ඩුකරණය දේශපාලන කතා පැවැත්වීම තරම් පහසු නැහැ. අර්ථ ශාස්ත්‍රය පිළිබඳ දැනුමකින් තොරව මෙම ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකියි. විවිධාකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට ජීවිත කාලය පුරා මුහුණ දුන්, ජීවිත කැප කළ මෙම ප්‍රදේශවල ජනතාව මෙන්ම අරන්තලාව භික්ෂු ඝාතනය සිහිපත් කරමින් මෙම මාර්ගය ඉදිකිරීම් ආරම්භ කරන ස්ථානයේම ස්මාරකයක්‌ ඉදිකිරීමට ද කටයුතු කරන ලෙස ඉදිකිරීම් භාර සමාගමෙන් ඉල්ලීමක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.මහා සංඝයා වහන්සේ, අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ඩබ්. ඩී. වීරසිංහ, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජෙගදීෂන්, ටී. එම්. වී. පී. පක්ෂයේ ලේකම් පී. ප්‍රශාන්තන්, අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ ගමගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Social Sharing
ආර්ථික නවතම පුවත්