හොරණ ගෝනපොල නිවෙසක ත්‍රාසජනක සිදුවීමක්…

– පෙම්වතිය ගෙන්වාගන්න පෙම්වතා 7 හැවිරිදි දැරිය කිඩ්නැප් කරලා

හොරණ ගෝනපොළ ඇටඹහේන නිවෙසක නිදාගෙන සිටි හත් හැවිරිදි දැරියක ප්‍රාණ ඇපයට ගෙන මරා දමන බවට තර්ජනය කරමින් අමනාප වූ සිය පෙම්වතිය පෙම්වතකු විසින් පෙරේදා (13) පැහැරගෙන ගොස් තිබිණ. ප්‍රාණ ඇපයට ගත් දැරිය කැස්බෑව පැටිකිරිදෙණිය ප්‍රදේශයේ ඥාති නිවෙසක දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

දැරියගේ පියාගේ සහෝදරිය සමඟ සැකකරු වසර 10ක පමණ කාලයක සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ අතර ඔහු දැඩිව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම හේතුවෙන් තරුණිය ප්‍රේම සබඳතාව දැනට මාස දෙකකට පමණ ඉහතදී නවතා දමා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පෙරේදා (13) අලුයම 6.20ට පමණ තවත් පුද්ගලයකු සමඟ ගෝනපොල ඇටඹහේන නිවෙස ආසන්නයට මෝටර් රථයකින් පැමිණ තිබූ සැකකරු මෝටර් රථයෙන් බැස නිවෙස තුළට කඩාවැදී තරුණිය සොයා බැලුව ද ඇය ඒ වන විටත් රැකියා ස්ථානය කරා යෑම සඳහා නිවෙසින් පිටත්ව යෑම හේතුවෙන් බාල සොයුරිය සමඟ එකම ඇඳෙහි නිදා සිටි පෙම්වතියගේ සහෝදරයාගේ වැඩිමල් දියණිය වන 7 හැවිරිදි දැරිය පැහැරගෙන මෝටර් රථයේ නැඟී පලාගොස් තිබූ බව මොරගහහේන පොලිසිය කියයි.

එම අවස්ථාවේදී දැරියගේ පියා රැකියාවට ගොස් ඇති අතර මව නාන කාමරයේ සිට ඇත. මිත්තනිය මේ බව දැක කෑ ගැසීමේදී මව නාන කාමරයෙන් පිටතට පැමිණ සැකකරු පසුපස හඹා යෑමේදී ඔහු නවතා තිබූ මෝටර් රථයේ නැඟී පලාගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

දැරියක පැහැරගෙන මෝටර් රථයකින් පලා යන බවට ගෝනපොල නගරයේ රාජකාරි නිරතව සිටි මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාට දැන ගැනීමට ලැබීමත් සමඟම වහා ක්‍රියාත්මක වූ ඒ මහතා එම නිවෙස වෙත ගොස් මූලික විමර්ශන ආරම්භ කර සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට සමත් වී ඇත. සැකකරු ඔහු භාරයේ දරුවා සිටින බව ඒත්තු ගැන්වීමට ඡායාරූපයක් කොළඹ ප්‍රදේශයේ රැකියාවට යමින් සිටි අමනාප වූ පෙම්වතිය වෙත වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ යොමු කර ඇය නාවොත් දරුවා මරා දමන බවට තර්ජනය කර ඇයව කැස්බෑව නගරය වෙත ගෙන්වාගෙන ඇයත් සමඟ දරුවාව කැස්බෑව පැටිකිරිදෙණිය තරුණියගේ ඥාති නිවෙස වෙත ගෙනගොස් ඔවුන්ට භාර දී පලාගොස් තිබූ බව පොලිසිය කියයි.

වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සැකකරු තරුණියට යොමු කළ දරුවා ඔහු ග්‍රහණයට ගෙන සිටින ඡායාරූපය තරුණිය විසින් තම සහෝදරයාගේ බිරියට (නෑනට) එවීමෙන් අනතුරුව ඇය විසින් මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට යොමු කර විමර්ශන කඩිනම් කර දරුවා සිය පොලිසිය කටයුතු කළේය.

සැකකරු දැරියව සහ තරුණිය පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කළ එකක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. මෙම පැහැර ගැනීමට පැමිණි සැකකරු සහ ඔහුට සහාය දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. මල්ලිකාරච්චි, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එල්.එම්.පී. රේණුකා, කාන්තා පොලිස් කොස්තාපල් (10143) සඳමාලි මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

Social Sharing
නවතම පුවත්