මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ විත්තිකාර සිසුවාට විභාග දින මඟ හැර නඩු විභාගය ආරම්භ කරන්න නියෝග

පොලොන්නරුව හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතානරලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවකු වන වවුනියාව කළමනාකාර පීඨයේ සිසුවකු වන දිලින දිල්ෂාන් නැමැත්තා විභාගයකට පෙනී සිටින හෙයින් එම දින මඟහැර දෙසැම්බර් මස 01 වැනිදා නඩු විභාගය ආරම්භ කිරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා (08) පස්වරුවේ නියෝග කෙළේය.

එම නඩුව පෙරේදා (08) පස්වරුවේ සහන් මාපා බණ්ඩාර (සභාපති), රස්මි සිංගප්පුලි හා ඩී. ඒ. රුවන් පතිරණ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී විත්තියේ නීතීඥ තිලංග බ්ලොග් මහතා කරුණු දක්වමින් නම වන චුදිත දිලින දිල්ෂාන් නැමැත්තා වවුනියාව කළමනාකාර පීඨයේ සිසුවකු බවත් ඔහුට මේ මස 13 වැනිදා සිට 24 වැනිදා දක්වා විභාගයකට පෙනී සිටීමට සිදුව ඇති හෙයින් එම දිනයන්වලින් පසුව නඩු විභාගය ආරම්භ කිරීමට අවධානය යොමු කරන මෙන් හා ඒ අතරතුර කාලයේ ඉරිදා දිනයන්හි පොලිසියේ පෙනී සිටීමේ නියෝගය ද තාවකාලිකව අත්හිටුවීමට අවධානය යොමු කරන මෙන් ද ඉල්ලා සිටියේය.

නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් තිස් හයදෙනෙකු අතරින් තිස් හතර දෙනෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

ඇප තැබීමෙන් අනතුරුව වෙනත් සිද්ධීන් සඳහා රිමාන්ඩ් භාරයේ රඳවා සිටින විත්තිකරුවන් දෙදෙනකු බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඇප තබා ගැනීමට නොහැකි වී සිටින රාමයියා සත්‍ය කුමාර් නැමැති විත්තිකරු ද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් විත්තිකරුවන් හය දෙනෙකුට මිනී මැරීමේ චෝදනා නොමැති බවත් ඔවුන්ට ඇත්තේ සිද්ධිය වූ ස්ථානයේ හා අවට කරන ලද විවිධ සොරකම් චෝදනා පමණක් වන හෙයින් එම විත්තිකරුවන් කැමති නම් වරද භාර ගෙන නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට හැකියාව තිබෙන බව කියා සිටියේය.

අනෙක් පැත්තෙන් සාක්කි කරුවන් දෙසිය අසූ හත් දෙනෙකු අතරින් 2, 3, 4, 5, 10, 11, 12, 136 හා 165 යන සාක්ෂිකරුවන් දසදෙනාට නඩු විභාගය සඳහා පෙනී සිටින ලෙසට දන්වා සිතාසි යැවීමට ද අවධානය යොමු කරන මෙන් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

නඩු විභාගය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම්ව සිටින හෙයින් ඒ සඳහා පුළුල් තිරයක අවශ්‍යතාවය තිබෙන හෙයින් ඒ පිළිබඳව ද අවධානය යොමු කරන මෙන් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කෙළේය.

මෙහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව වවුනියාව කළමනාකාර පීඨයේ ඉගෙනුම ලබන විත්තිකාර සිසුවාට විභාගයට පෙනී සිටීමට සිදුව ඇති හෙයින් ඒ පිළිබඳව ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අවධානය යොමු කර එම විභාගයෙන් පසුව නඩුව විභාගයට ගැනීම දෙසැම්බර් මස 01 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළේය.

එම විත්තිකාර සිසුවා විභාගයට පෙනී සිටින කාලය තුළ ඉරිදා දිනයන්හි ඔහුට පොලිසියේ පෙනී සිටීමේ කොන්දේසිය ද තාවකාලිකව අත් හිටුවා ඊළඟට එලඹෙන ඉරිදා දිනයන්හි සිට ඔහුට පොලිසිය ඉදිරියේ පෙනී සිටීමට ද නියෝග කෙරිණි.

නඩු විභාගය ආරම්භ කරන දිනයේදී නම් කරන ලද සාක්ෂිකරුවන් දසදෙනාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි යැවීමට ද නියෝග කෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරන ලද ඉල්ලීමට අනුව අධිකරණය සතුව පවතින පුළුල් තිරය භාවිත කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමට ද නියෝග කෙරිණි.

ගෝඨා ගෝ ගමට හා මයිනා ගෝ ගමට මැර ප්‍රහාරයක් එල්ල වූ පසුගිය වසරේ මැයි මස 09 වැනි දා නිට්ටඹුව නගරයේ දී හටගත් මහජන නොසන්සුන්තාවයන් අතරතුරදී එම ඝාතනයන් සිදු කොට තිබිණ. ආරම්භක නඩු විභාගය දෙසැම්බර් මස 01 වැනිදාට කල් තැබිණ.

විත්තිය වෙනුවෙන් තිලංග බ්ලොග්, උපුල් අබේවික්‍රම, ලාල් කුමාර පේලි, හරිත් හෙට්ටිආරච්චි, සාලින්ද අමරසිංහ යන නීතීඥ මහත්වරු හා නීතිඥ ශිරාණි දිසානායක මහත්මිය ඇතුළු නීතිඥවරු පිරිසක් සමඟ ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පෙනී සිටියේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන්ම නීතිඥ සුසිකා නාමලී සිල්වා මහත්මිය පෙනී සිටියාය.

රජයේ නීතිඥ ක්‍රිෂාන් අල්විස් කුලතිලක මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය විය.

Social Sharing
නවතම පුවත්