බංකොලොත් රටක අයවැය, වැඩි පඩි හා අර්බුද…

අපේ රටේ දීර්ඝ කාලීනව අයවැය හිඟයක් සහ ආනයන සහ අපනයන පරතරයේ හිඟයක් හෙවත් වෙළෙඳ ශේෂයේ හිඟයක් පැවතුනි. මෙම හිඟයයන් පියවා ගනු ලැබුවේ දේශීය සහ විදේශීය ණය ගැනීම මගිනි. ආපසු ගෙවිය යුතු මෙම ණය රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අනුක්‍රමයෙන් වැඩි වෙමින් තිබුණි. මක්නිසාදයත් සෑම අවුරුද්දකම මෙම හිඟයයන් පැවතීමත් ඒ අනුව නැවත නැවතත් ණය ගැනීමට සිදුවීමත් සහ එම ණය බොහෝ විට ගනු ලැබුවේ පරිභෝජනය සඳහා වීමත්ය.

වර්ෂ 2024 අයවැය ලේඛනය මෙම මස 13 වන දින ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ආණ්ඩුව සිය ආදායම් ඉලක්ක සම්පුර්ණ නොවූ බව පවසමින් ලබන ජනවාරි පළමුවනදා  සිට  VAT බද්ද  15%  සිට  18% දක්වා ඉහළ නංවන බව ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම සිනි සඳහා වන තීරු බද්ද නොවැම්බර් 2 වනදා සිට ශත 25 සිට රු. 50  දක්වා වැඩිකර තිබේ. රාජ්‍ය අංශයේ සේවකයන් ද රු. 20,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඇති අතර ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ට යම් වැටුප් වැඩිවීමක් අයවැයෙන් නිවේදනය කරන බව ප්‍රකාශ කර තිබේ.

ආණ්ඩුව ජාත්‍යන්තර මූූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වූ කොන්දේසි ඉටු නොකළ බව පවසමින් IMF දෙවන වාරිකය ගෙවීම පමාකර තිබේ. මෙම ඉටු නොකළ  කොන්දේසි අතරට විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය පිලිබඳ ණය හිමියන් සමඟ එකඟතාවක්  ඇතිකර ගැනීම පමාවිම ද ඇතුළත්ය.

වර්ෂ 2024 විසර්ජන පනත හරහා ආණ්ඩුවේ වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති අතර  ඒ අනුව ආණ්ඩුවේ පුනරාවර්තන වියදම් රු. බිලියන 2,720කි. එය 2023  පුනරාවර්තන වියදම් රු. බිලියන 2,445 ට සාපේක්ෂව 11% ක වැඩිවීමකි. පොළී ගෙවීම් රු. බිලියන 2634කි.  එය 2023 ට සාපේක්ෂව   20% ක වැඩිවීමකි. ප්‍රාග්ධන වියදම් රු.බිලියන 1,209 කි. එය 2023ට සාපේක්ෂව  1% ක අඩුවීමකි. මෙහි එකතුව 2024දී රු. බිලියන  6,563 කි. එය 2023 අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂව 12%  ක වැඩිවීමකි. වර්ෂ  2022 සමස්ත වියදම වන රු. බිලියන 4,473ට සාපේක්ෂව  46% ක වැඩිවීමකි. මෙහි විශාල සංඝටකයක් වන පොළී ගෙවීම් වර්ෂ 2022 දී රු. බිලියන 1,565කි. වර්ෂ 2023 දී රු. බිලියන  2,189කි. වර්ෂ  2024දී රු. බිලියන  2,634කි. (මූලාශ්‍ර: (publicfinance.lk සහ වෙනත්)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ පරිදි ප්‍රාථමික ගිනුමේ ශේෂය එනම් ආණ්ඩුවේ මුළු ආදායමෙන් පොළී ගෙවීම් හැර ඉතිරි පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් වර්ෂ 2023 දී දල දේශීය නිෂ්පාදිතයෙන් 0.7% ක හිඟයක් විය යුතු අතර 2024දී එම අනුපාතය  0.8% ක අතිරික්තයක් විය යුතුය. වර්ෂ   2025 දී සහ ඉන් පසුව මෙම අනුපාතය 2.3% ක අතිරික්තයක් විය යුතුය. හිඟයක්ව තිබුන ප්‍රාථමික ගිනුමේ ශේෂය අතිරික්තයක් බවට පත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයටයි.

මුදල් අමාත්‍යංශයේ වර්ෂ 2023 සඳහා අර්ධ වාර්ෂික වාර්තාව අනුව 2023 ජනවාරි සිට අප්‍රේල් දක්වා ආණ්ඩුවේ මුළු ආදායම රු. බිලියන 820 කි. පොළී හැර මුළු වියදම රු. බිලියන 826කි. මේ අනුව අදාල කාලය  සඳහා ප්‍රාථමික ගිනුමේ රු. බිලියන  6 ක හිඟයක් වාර්තාවේ. මෙම හිඟය වර්ෂ 2022 සඳහා රු. බිලියන 97 කි.

එමෙන්ම publicfinance.lk වෙබ් අඩවියට අනුව  2023 මුල් අර්ධ වර්ෂය සඳහා ප්‍රාථමික ගිනුමේ රු. බිලියන 31 ක අතිරික්තයක් වාර්තාවේ. එනමුත් පොළී ගෙවීම් 2022 මුල් අර්ධ වර්ෂය සඳහා රු. බිලියන 658  වූ අතර   2023 මුල් අර්ධ වර්ෂය සඳහා රු. බිලියන 1273 කි. ඒ අනුව අයවැය හිඟය 2022 මුල් අර්ධ වර්ෂයේ රු. බිලියන  903 සිට 2023 මුල් අර්ධ වර්ෂය සඳහා රු. බිලියන 1243 දක්වා වැඩිවී ඇත.

මූල්‍ය සාක්ෂරතාව පැත්තෙන් බලන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධව කිසිම දෝෂයක් දැකිය නොහැකිය. අපේ රටේ දීර්ඝ කාලීනව අයවැය හිඟයක් සහ ආනයන සහ අපනයන පරතරයේ හිඟයක් හෙවත් වෙළෙඳ ශේෂයේ හිඟයක් පැවතුනි. මෙම හිඟයයන් පියවා ගනු ලැබුවේ දේශීය සහ විදේශීය ණය ගැනීම මගිනි. ආපසු ගෙවිය යුතු මෙම ණය රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අනුක්‍රමයෙන් වැඩි වෙමින් තිබුණි. මක්නිසාදයත් සෑම අවුරුද්දකම මෙම හිඟයයන් පැවතීමත් ඒ අනුව නැවත නැවතත් ණය ගැනීමට සිදුවීමත් සහ එම ණය බොහෝ විට ගනු ලැබුවේ පරිභෝජනය සඳහා වීමත්ය. එමෙන්ම ණය ලබා ගෙන කරනු ලැබූ ආයෝජනයන්ගේ ප්‍රතිලාභවලින්  දළ ජාතික නිෂ්පාදිතයේ සැලකිය යුතු වර්ධනයක් සිදු  නොවූ නිසා දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රතිශතය අනුක්‍රමයෙන් ඉහළ ගියේය.

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගතකරණය හෙවත් ණය කොටසක් කපා හැරීම සහ ආපසු ගෙවන කාලය දීර්ඝ කිරීමට යෝජනා කිරීම මගින් කෙරනු ලබන්නේ ඉතිරි ණය ආපසු ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමයි. එමෙන්ම නැවත මෙම අමනොඥ  චක්‍රයට හසු නොවීම සඳහා ප්‍රාථමික ගිනුමේ අතිරික්තයක් ඇති කිරීම සහතික කිරීමයි. එය දැනට කෙරෙමින් තිබේ.

වෙළෙඳ ශේෂයේ හිඟය නැති කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව වන්නේ විදේශ විනිමය අනුපාතය මහා බැංකුව මගින් පාලනය කිරීම නවත්වන ලෙසයි. එවිට රුපියල අවප්‍රමාණය වී ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගොස් ඒවායේ ඉල්ලුම අඩුවීම මගින් වෙළෙඳ ශේෂය තුලනය වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සහ ඔවුන් නිර්දේශ කර ඇති ක්‍රියා පිළිවෙල මගින් රටේ ආර්ථික වෘද්ධියක් ඇතිවී රට සමෘධිමත් වනු ඇතැයි යමකු බලාපොරොත්තු වන්නේ නම් එය මනස්ගාතයකි. මූල්‍ය අරමුදල විසින් සිදු කරනු ලබන්නේ රාජ්‍යය වැටී ඇති උගුලෙන් බේරා ගැනීමයි. රාජ්‍යය මූල්‍ය වශයෙන්  ස්ථාවර තත්ත්වයකට පත් කිරීමයි. ඔවුන්ගේ කාර්යය එයින් අවසන් වේ. එයින් පසුව රට සංවර්ධනය කළ යුත්තේ අප විසිනි. රාජ්‍යය විසින් එයට මග පෙන්විය යුතුය.

අපනයන වර්ධනය කළ යුත්තේ අප විසිනි. දේශීය ව්‍යාපාරිකයන් නංවාලිය යුත්තේ අප විසිනි. විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමට රටේ නීතිමය පසුබිම ඉහළ නංවා රාජ්‍යයේ අකාර්යක්ෂමතාවයන් නැති කල යුත්තේ අප විසිනි.

ලංකාවේ ප්‍රමාණයට වඩා විශාල රාජ්‍ය සේවයක් ඇති අතර එම රාජ්‍ය සේවකයන් බඳවාගෙන ඇත්තේ ඒ ඒ කාලවල බලයේ සිටි දේශපාලනඥයන්ගේ ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීම සඳහාය.පසුගිය කාලයේ පැවති අධික උද්ධමනය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වල මූර්ත අගය හෙවත් රටේ මිල මට්ටම අනුව වැටුපේ අගය පහල ගියේය. කළ යුතු වන්නේ රාජ්‍ය සේවය අවශ්‍ය ප්‍රමාණයට සංකෝචනය කර ඉතිරි වන සේවකයන්ට සාධාරණ වැටුපක් ගෙවීමයි. මෙම ක්‍රියාව සිය ඡන්ද පදනමට බලපෑමක් විය හැකි නිසා ආණ්ඩුව කරමින් සිටින්නේ අලුතින් සේවකයන් බඳවා ගැනීම බරපතල ලෙස සීමා කිරීමයි.

රට තිබෙන තත්ත්වය අනුව රාජ්‍ය සේවකයන් ඉල්ලන වැටුප් වර්ධකය දීමට ආණ්ඩුවට හැකියාවක් නැත. එනමුත් ඉදිරියට එන්නේ මැතිවරණ වර්ෂයක් නිසා යම් ප්‍රමාණයක වැටුප් වර්ධකයක් දීමට ආණ්ඩුව එකඟ වනු ඇත. ජනාධිපතිවරයා කර ඇත්තේ එයයි.

මෙය සමනය කර ගැනීමට සහ විශේෂයෙන් ආණ්ඩුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට VAT බද්ද ඉතිහාසයේ ඉහළම ප්‍රතිශතය වන 18% දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. මෙම තත්වය තුළ දැනටත් ඉතා අපහසුවෙන් ජිවත්වන සාමාන්‍ය පොදු ජනතාවට බරපතල අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවේ. එමෙන්ම රටේ නිෂ්පාදනය සඳහා ඍජුව දායක වන පෞද්ගලික අංශයේ සේවක වැටුප් රාජ්‍ය අංශයට සාපේක්ෂ වශයෙන් පහළ බසිනු ඇත.

මෙම සමස්ත ප්‍රශ්නය දෙස බැලීමේදී තවත් අතුරු පැත්තක් තිබේ. එනම් එවකට පැවති ආණ්ඩු විසින් මෙම සේවකයන් බඳවා නොගත්තේ නම් ඔවුන්ට කුමක් විය හැකිව තිබුණිද?  පි.බි. ජයසුන්දර විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙයවනු ලැබූ ආර්ථික ක්‍රමය යටතේ බදු සහන දුන් මෙරට පෞද්ගලික අංශය විසින් මෙම සේවකයන් බඳවා ගත හැකිව තිබුණිද? වෙනත් වචන වලින් කිවහොත් මෙරට පුද්ගලික අංශය දීර්ඝ කාලයක් තිස්සේ තමන් ලැබූ බදු සහන වෙනුවෙන් රටට සාධාරණයක් ඉෂ්ට කර තිබේද?

අපේ රටේ ඉහළ පෞද්ගලික අංශයේ රාජ්‍ය අනුග්‍රහය ලත් ගජ මිතුරෝ විශාල ප්‍රමාණයක් සිටිති. රටේ ආර්ථිකය වර්ධනය කිරීමේ අභිලාෂයක් ඔවුන්ට නොමැත. ඔවුන්ගේ අභිලාෂය වන්නේ ධනයේ ඊළඟ පියවර වන දේශපාලන බලය ලබා ගැනීමයි.

නිෂ්පාදනයට බර තැබූ දේශීය ධනපති පන්තිය වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව අපට තිබේ. කලින් සිටි මෙම ධනපති පන්තිය 1956 න්  පසුව ඇතිවූ සහ 1970 දී උත්කර්ෂයට නැංවුණු ඊනියා සමාජවාදී ආර්ථික ක්‍රමය යටතේ නැතිකර දමන ලදී. ඉන්පසු රටේ ධනය රාජ්‍යය වෙත සංකේන්ද්‍රණය විය. වර්ෂ 1977 න්  පසුව ඇතිවූයේ රාජ්‍ය අනුග්‍රහය ලත් නව ධනපති පන්තියකි.

රටේ ආර්ථිකය වර්ධනය කළ හැක්කේ ව්‍යාපාරිකයන්ටයි. වෘත්තීය සමිතිවලට හෝ රාජ්‍ය සේවකයන්ට හෝ නොවේ. මෙම දේශීය ධනපති හෝ ව්‍යාපාරික හෝ පන්තිය වර්ධනය කරන්නේ කෙසේද? රාජ්‍යයට එය කල හැක්කේ දැනට රජය සතුව පවතින ව්‍යාපාර මනා විනිවිද භාවයකින් යුතුව ජනතාවට විකිණීමෙනි. එමෙන්ම කිසිම ව්‍යාපාරිකයකුට ඒකාධිකාර පවත්වාගෙන යාමට රජය ඉඩදිය යුතු නැත.

රටේ පවතින තත්ත්වය අනුව සමහර විශාල  ව්‍යාපාර ක්ෂණිකව විකිණිය හැකි වන්නේ විදේශීය ආයෝජකයන්ටයි. විදේශීය ආයෝජකයන් ව්‍යාපාර කරන්නේ අපගේ භූමිය තුළය. එබැවින් ඔවුන්ට අපව පාලනය කළ නොහැක. පසුගියදා රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ එරට සිටි චීන ව්‍යාපාරිකයන් ගණනාවකට රටින් පිටවන ලෙස අණ කළේය.  රජයේ අරමුණ විය යුත්තේ රැකියා උත්පාදනය කිරීමයි. සුදුසු නියාමනයක් කිරීමයි. විදේශීය හෝ දේශීය හෝ ව්‍යාපාරිකයන්ට රජය බිය විය යුතු නැත.

රට බංකොලොත් වී ඇති බව ප්‍රකාශ වන්නේ රජය සතු ශේෂ පත්‍රයක් නොමැති නිසාය. ශේෂ පත්‍රය යනු යම් ආයතනයක දේපල ඇතුළු වත්කම් සහ ගෙවිය යුතු ණය ඇතුළු වගකීම් වලින් සමන්විත වන ප්‍රකාශයකි. රට බංකොලොත් වීම පාදක වන්නේ ආදායම් සහ වියදම් ප්‍රකාශය මතය. එනම් අපේ ආදායමට වඩා වියදම වැඩි බැවින් ලබාගත් ණය ගෙවීමට නොහැකි වීමයි. පුද්ගලයකු හෝ ආයතනයක් හෝ බංකොලොත් වන්නේ අවසාන වශයෙන් සිය වත්කම් වලට වඩා වගකීම් වැඩි වූ විටය. රට එම තත්ත්වයට තවමත් පත්වී නොමැත. එබැවින් මෙම තත්ත්වයෙන් මිදී මනා මූල්‍ය පරිපාලනයකින් ඉදිරියට යාමට අපට තවමත් අවකාශ තිබේ.

හර්ෂ ගුණසේන

උපුටාගැනීම – සමබිම

 

 

 

 

Social Sharing
ආර්ථික නවතම පුවත්