තොරතුරු කොමිසමේ පළමු නඩුවෙන් කැලණිය උපකුලපතිනිය හා ලේඛකාධිකාරී නිදහස්

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනියට හා ලේඛකාධිකාරීවරයාට එරෙහිව තොරතුරු කොමිසම පනවන ලද නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09) ප්‍රතික්ෂේප කළේය.

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමේ වරද යටතේ නඩු පැවරීම සිදු විය.

තොරතුරු කොමිසම ස්ථාපිත කර ගතවූ අවුරුදු 7ක කාලය තුළ එම කොමිසම පනවන ලද පළමු නඩුව පරාජයට පත් වීම විශේෂත්වයකි.

මහාචාර්ය ප්‍රශාන්ති නාරන්ගොඩ 2020 වසරේ ජූලි 08දා තොරතුරු පනතේ 3 වැනි වගත්නිය යටතේ ඉල්ලා සිටි තොරතුරු දීම පැහැර හැරීමේ වරද යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කේ.කේ. ධර්මතිලක හා උපකුලපතිනිය වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වාට එරෙහිව තොරතුරු කොමිසම මඟින් මෙම නඩුව ගොනුකරන ලදි.

කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු දෙදෙනකු අතර 2018 වසරේ ඇති වූ මතභේදයක් සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණයක තොරතුරු නොදීමේ වරදට පනතේ 32 (1) හා 32 (3) යන වගන්ති යටතේ මෙම නඩුව ඉදිරිපත් විය.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 136 (ආ) වගන්තිය යටතේ කොමිසම නඩු පැවරීම සිදු කර තිබුණ ද අදාළ වගන්තිය යටතේ නඩු පැවරීම කළ හැක්කේ සාම නිලධාරියකුට හෝ පොලිසියට පමණක් බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විරෝධතා ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

එසේම විත්තිකරුවන් අදාළ සිදුවීම වූ අවස්ථාවේ අදාළ තනතුරුවල නොසිටි බැවින් ඔවුන්ට නඩු පැවරීම වැරැදි බවත් ඒ වෙනුවට විශ්වවිද්‍යාලයට එරෙහිව නඩු පැවරීම සිදු විය යුතු බව විත්‍තියේ නීතිඥයා පෙන්වා දුන්නේය.

මෙම නඩුව ඊයේ (09) විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ නීතිඥයන් විරෝධතා 4ක් ඉදිරිපත් කළ අතර ඉන් එක් කරුණක් ගැන පමණක් අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ප්‍රතික්ෂේප කිරීමට එම කාරණය පමණක් ප්‍රමාණවත් බව සඳහන් කළේය.

පනතේ 39 (4) වගන්තිය යටතේ නඩු පැවරීමේ බලය කොමිසමට තිබුණ ද එහි 11 (2) වගන්තියට අනුව නඩුව ගොනුකර නැති බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. පනත අනුව නඩු පැවරීමේ බලය කොමිසමට දී තිබුණ ද මෙම නඩුව ඒ වෙනුවට අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගොනුකර ඇති බවත් නඩු පැවරීමේ තීරණය සඳහන් ලේඛනයේ පොදු මුද්‍රාව යෙදිය යුතු වුවත් පැමිණිලිකරුවන් ඒ පිළිබඳ සැලකිලිමත්ව නැති බව මහේස්ත්‍රාත්වරයා කීය.

මෙම කරුණ මත විත්තියේ විරෝධතා සැලකිල්ලට ගෙන පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන නමුත් නඩුව නැවත ගොනු කිරීමට ඉන් බාධාවක් නොවන බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සමඟ නීතිඥ මඬුල්ලක් පෙනී සිටියේය.

Social Sharing
නවතම පුවත්