සම්මානලාභී දෙමළ මාධ්‍යවේදියාට ත්‍රස්ත පොලිසියෙන් පැය 4ක ප්‍රශ්න…

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයාගේ උපන් දිනය පිළිබඳ පුවතක් සහ ඔහුගේ ඡායාරූපයක් තුන් වසරකට ඉහත දී පළ කිරීම සම්බන්ධයෙන් උතුරේ පළවන ප්‍රමුඛ පෙලේ දෙමළ පුවත්පතක සම්මානලාභී මාධ්‍යවේදියකුගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය පැය හතරකට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ.

කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ (CTID) ප්‍රධාන කාර්යාලයට නොවැම්බර් 1 වැනිදා කැදවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත්තේ උතුරේ දෛනිකව පළ කෙරෙන පුවත්පතක් වන ‘උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරක මාධ්‍යවේදී කේ. ඩිලීප් අමුදන්ගෙන්ය.

නොවැම්බර් 26 වැනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සම්බන්ධයෙන් 2020 වසරේ නොවැම්බර් 26 ඡායාරූපයක් සහිතව පළ කල පුවත සම්බන්ධයෙන්ම මෙන්ම නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනයට ආරාධනා කරමින් පළ කර ඇති ලිපියක් සම්බන්ධයෙන්ද CTID ය මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කර තිබේ.

නොවැම්බර් 01 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 1.30 දක්වා පැය හතර හමාරක කාලයක් කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කර ඇති බව උතුරේ වාර්තාකරුවෝ  පවසති.

පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් සදහන් කරන්නේ  2020 වසරේ නොවැම්බර් 26 දා ‘උදයන්’ පුවත්ප පළ කළ එම ලිපිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් එම සමයේදීම අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබු බවයි.

උතුරේ හමුදා ව්‍යාපාරික කටයුතු තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෙළිකිරීමෙන් මාධ්‍යවේදී දිලීප් අමුදන් සම්මානයට පාත්‍ර වූවෙකි.

නොවැම්බර් 27 වැනිදාට දෙමළ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් උතුරේ ස්ථාන රැසකම පිහිටි සුසාන භුමි ශ්‍රමදානයෙන් ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බව ඔවුහු වැඩි දුරටත් පවසති.

Social Sharing
නවතම පුවත්