දැනුම්වත්වීමකින් තොරව විදේශ රැකියා ප්‍රතිපත්තියක් හැදිය යුතු යැයි කීම කනගාටුවට කරුණක්…

රටේ නායකයන් යැයි හිතාගෙන ඉන්න අය කිසිදු දැනුම්වත්වීමකින් තොරව විදේශ රැකියා ප්‍රතිපත්තියක් හැදිය යුතු යැයි කීම කනගාටුවට කරුණක් යැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්ම 2023 – 2027 ඊයේ (25) එළිදැක්වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“සැබෑ නායකයන් නම් රටේ තිබෙන ප්‍රතිපත්ති සහ හැදෙමින් තිබෙන ප්‍රතිපත්ති ගැන දැනුම්වත් විය යුතුයි. විදේශ රැකියා ප්‍රතිපත්තිය 2008දී සකස් කර අද වන විට යාවත්කාලීන කර තිබෙනවා. 2023 – 2027 වන විට ප්‍රතිපත්තියත් එළි දක්වනවා.

අපේ රටේ නායකයන් කියලා හිතාගෙන ඉන්න අය කිසිදු දැනුම්වත් වීමකින් තොරව විදේශ රැකියා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කළ යුතු බවට යෝජනා කරනවා. නමුත් 2008දී පටන්ගෙන 2015දී නැවත සකස් කර 2023දී නැවත සමාලෝචනය කළ ප්‍රතිපත්තියක් තිබෙන බව නොදැනුම්වත් වීම කනගාටුවට කරුණක්.

අපේ රටේ බොහොමයක් නායකයන් කියලා හිතාගෙන ඉන්න අය විදේශ සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තියක අවශ්‍යතාව ගැන මාධ්‍යයට කතා කරන ආකාරය මම දැක්කා. ඒත් නායකයන් නම් මේ වෙනකොට තිබෙන ප්‍රතිපත්ති සහ මේ වන විට නිර්මාණය වෙමින් පවතින ප්‍රතිපත්ති ගැන දැනුම්වත් විය යුතුයි.

අපේ විදේශගත ශ්‍රමිකයන් තමයි රට වැටුණ වෙලාවේ රට ගොඩගත්තේ. රටේ ඩොලර් සංචිත බින්දුවට වැටුණ වෙලාවේ අපේ රටට උදවු කළේ මේ රටේ විදේශගත ශ්‍රමිකයන්. ඒ නිසයි ඒ අය වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කරන්නත්, ඒ අය වෙනුවෙන් උපරිමයෙන් සහාය දක්වන්නත්, මම කැප වෙලා කටයුතු කළේ.

මේ රටේ ඩොලර් සංචිත ඉවර වෙලා තිබුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් රටට ඩොලර් ගේන රාජකාරිය මටත් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාටත් භාර දුන්නා. ඒ වෙලාවේ ජනාධිපතිවරයා මට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය භාර දී අපේ රටේ විදේශගත ශ්‍රමිකයන්ගේ දායකත්වයෙන් රටට ඩොලර් ගේන කාර්ය භාර දුන්නා. අනිත් පැත්තෙන් අපේ හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාට සංචාරක ක්ෂේත්‍රයෙන් රටට ඩොලර් ගේන කාර්ය භාර දුන්නා.

අවුරුද්දකුත් මාස කිහිපයක් ගතවෙන මේ වෙලාවේදී අපට පුළුවන් වෙලා තියෙනවා අපේ රටේ බින්දුවට තිබූ ඩොලර් සංචිතය, අමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයකට ගෙන එන්න. ඒ වගේම අමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් මේ අවුරුද්දට විතරක් අපේ විදේශගත ශ්‍රමිකයන් එවා තියෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතාම වෙහෙස මහන්සි වෙලා, ගිය අවුරද්දේ විතරක් තුන්ලක්ෂ දොළොස් දහසක් විදේශගත කළා. අපි හිතනවා මේ අවුරුද්දේ ඒ ඉලක්කය අබිබවා යන්න හැකියාව ලැබෙයි කියලා. අපේ විදේශගත ශ්‍රමිකයන්ට අපේ රටට සල්ලි එවන්න කියලා ඉල්ලීම් කරන දැන්වීමක් දාන්න හදනකොට ප්‍රසම්පාදන වැඩවලට කාලයක් ගියා. ඒ නිසා අපි අපේ දන්න අයගෙන් උදවු උපකාරගෙන විදේශ රටවල ඉන්න අයගේ සල්ලි ටික ලංකාවට එවන්න කියලා ඉල්ලීම් කළා.

ගිය අවුරුද්දේ මැයි මාසයේදීම අපි අපේ දැනුම්වත් කිරීමේ වැඩකටයුතු පටන් ගත්තා. අපි කිව්වා ඔබේ දරුවන්ට කාලා බීලා ඇඳලා ඉන්න, පාසලට යන්න, විදුලිය දෙන්න, අම්මාට තාත්තාට බෙහෙත් ටිකක්වත් අරන් දෙන්න අපට සහාය වෙන්න. ඒ නිසා රටට ඩොලර් එවන්න කියලා. ඒ වෙලාවේ අපේ විදේශගත ශ්‍රමිකයෝ අපට සහාය දුන්නා. අපේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ණය යෝජනා ක්‍රමයක් දෙන්න කියලා මම ගිය අවුරුද්දේ දෙවන කාර්තුවේදී කැබිනට් මණ්ඩලයට යෝජනා කළා. ඒත් ඉතාම කනගාටුවෙන් කියනවා අපට තාම ඒ වැඩේ ක්‍රියාත්මක කරන්න ලැබුණේ නෑ. මේ අතර අපි ශ්‍රමිකයන්ට වාහන ආනයනය කරන්න අවස්ථාව දුන්නා. රටට කවදාවත් සල්ලි එවපු නැති ඔස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටවල හිටිය අයත් අපට සල්ලි එව්වා. ඒ සල්ලිවලට අනුව අපි බැංකු හොඳින් පරීක්ෂා කර විදුලි වාහන ගේන්න බලපත්‍රයක් දුන්නා.”

සුභාෂිණී සේනානායක

Social Sharing
ආර්ථික නවතම පුවත්