ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගන්න බෑ!

සභාග දේශපාලනය පිළිබඳව ජනාධිපතිවරයාට හොඳ අවබෝධයක් තිබිය යුතු බවත්, ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගත නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කර පක්ෂ අතර සාමය පවත්වා ගැනීමට ජනාධිපතිවරයා දැනගත යුතු බව ද හෙතෙම කීවේය.

උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත ඊයේ (25) අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව සමයේ නායකයන් දෙදෙනාම පැති දෙකකට ගිය බව පැවසූ ඒ මහතා එහි ප්‍රතිඵලය වූයේ රට අස්ථාවරභාවයට පත්වීම බව කියා සිටියේය.

ඉදිරි තීරණ ගැනීමේදී සහ සභාග දේශපාලනයේ නියැළීමේදී ජනාධිපතිවරයා සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කිරීම සුදුසු යැයි තමා විශ්වාස කරන බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පසුගියදා සිදුවූ ඇමැති මණ්ඩල සංශෝධනයෙන් සිදුවූයේ අමාත්‍යාංශ මාරු කිරීමක් පමණක් වන බැවින් එය ඇමැති මණ්ඩල සංශෝධනයක් ලෙස සැලකිය නොහැකි බව ඒ මහතා පැවැසීය.

පසුගියදා සිදුවූ නව ඇමතිවරුන් පත් කිරීම කැබිනට් සංශෝධනයක් ලෙස පිළි නොගන්නා බවත් ඇතුළත තනතුරු හුවමාරු කර ගැනීමක් පමණක් සිදුව ඇති බව සඳහන් කළේය.

ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැය මත පක්ෂයක් ලෙස තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා කීවේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ජනාධිපතිවරයාට කැබිනට් සංශෝධනයක් කරන්න අයිතියක් තියෙනවා. රජයටද යුතුකමක් තිබෙනවා ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සහෝදර සන්ධාන පාක්ෂිකයන් දැනුවත් කර සාකච්ඡා කරන්න.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගැටුමක් සම්බන්ධයෙන් පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරනවා. වෙනත් කණ්ඩායම් විසින් එවැනි විරසකයක් පිළිබඳ කටකතා ඇති කිරීමට උත්සාහ කරනවා.

ජනාධිපති ධූරය භාර ගන්නා ලෙස ආරාධනා කළේ, රනිල් වික්‍රමසිංහට පමණක් නොව සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා සහ අනුර කුමාර දිසානායකටද ආරාධනා කළා.

නුවන් කොඩිකාර

 

Social Sharing
නවතම පුවත්