ජනපතිගේ අමෙරිකා සංචාරයෙන් රටට හිතකර ප්‍රතිලාභ රැසක්…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අමෙරිකානු සංචාරයෙන් රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපතිවරයාගේ මේ සංචාරයේ දී අවස්ථාව ලැබුණු බව ද රුවන් විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් රුවන් විජයවර්ධන මහතා මෙසේද පැවසීය.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ තේමාව වූයේ ‘දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධන ඉලක්ක’ යන්නයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා සහභාගි වීමෙන් අනතුරුව සැසිවාරයට එක්ව සිටි රාජ්‍ය නායකයන් රැසක් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. සාර්ථකව පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙහිදී ලෝක බැංකු සභාපති අජය බංගා මහතා සමඟ පැවති හමුවේ දී වත්මන් රජය ගෙන යන ආර්ථික ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඇගයීමට ලක් කෙරුණා. එසේම දේශගුණික විපර්යාස අවම කර ගැනිමේ වැඩසටහන්වල මෙන්ම රජයේ සංවර්ධන වැඩසටහන්වලටත් ඉදිරියේදී ආධාර දෙන බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ වසර අවසන් වීමට පෙර එතුමා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළා.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට එකඟ වූ අතර ඒ තුළින් මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා හිමි වෙනවා. ඒ වගේම මෙරට සංවර්ධන වැඩසටහන්වලටත් ආධාර උපකාර දෙන බව ඒ මහතා ප්‍රකාශ කළා.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. දූපත් රාජ්‍යවල අනන්‍යතාව ආරක්ෂා කිරීමට කලාපීය රටවල් එකතු විය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ සංචාරය පිටිවහලක් වූ බව කිවයුතුයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී මෙන්ම තිරසර සංවර්ධනය ඉලක්ක කරා ගමන් කිරීමේ දී දියුණු රටවල දායකත්වයේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ලෝක උද්ධමනය, ආහාර, බලශක්ති අනාරක්ෂිතභාවය සම්බන්ධයෙනුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළා. 2030 වන විට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට අපේක්ෂා කෙරෙනවා. ඒ වගේම වන ඝනත්වය 32%ක් දක්වා ඉහළ නංවා ගැනීමටත්, හරිතාගාර වායු විමෝචනය 14.5%කින් අඩු කර ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. 2050 වසර වන විට ශුන්‍ය විමෝචනයට ළඟා වීමටත් සැලසුම් කර ඇති බව ජනාධිපති රාජ්‍ය නායකයන් හමුවේ පැහැදිලි කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කරනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ මේ සංචාරය රටට ඉතා වැදගත් සංචාරයක් බව කිවයුතුයි. ඒ වගේම එතුමා රාජ්‍ය නායකයන් ඇතුළු සෙසු නියෝජිතයන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා ඉතා ඵලදායී සාකච්ඡා වුණායිද පැවසීය.

ශිරෝමි අබයසිංහ

Social Sharing
නවතම පුවත්