රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයෑම පිළිබඳව කඩිනම් නීතිමය පියවර – නීතිපති

‘අරගලය’ පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් කේ. ඩී. චමින්ද ලක්ෂාන් නමැති පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව නීතිපතිවරයා ඊයේ (අගෝ. 29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

එම සිද්ධියෙන් අගතියට පත් ගම්වාසීන් පිරිසක විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෂනිල් කුලරත්න මෙම දැනුම්දීම සිදුකළේ ය.

බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ අචල වෙංගප්පූලිගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දහතුන්දෙනෙකු තුවාල ලැබූ බව කියා සිටියහ.

සිද්ධිය සිදුවී මේ වන විට වසර එකහමාරකට අධික කාලයක් ගත වී ඇතත්, ඊට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව මේ දක්වා නීතිමය පියවරක් ගෙන නොමැති බව එම නීතිඥවරු පෙන්වා දුන්හ.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ ගිනි අවි, වීඩියෝ දර්ශන සහ අනෙකුත් නඩු භාණ්ඩ විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව යි.

එම විමර්ශන වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, මෙම සිද්ධියට අදාළව මේ වන විට පොලිස් නිලධාරීන් 21 දෙනෙකුගේ වැඩ තහනමට ලක්කර තිබෙන බවත් කියා සිටියේ ය.

මෙහිදී, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් අදාළ විමර්ශන වාර්තා කඩිනමින් ගෙන්වාගෙන නොපමාව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස විනිසුරු මඬුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්හ.

ඒ අනුව, මෙම පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අදාළ සීමිත විරෝධතා අගෝ. 29 දින සිට සති හයක් තුළ ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඬුල්ල, පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 16 වනදා නැවතත් කැඳවන ලෙසත් නියෝග කළෝ ය.

2022 වසරේ අප්‍රේල් මස 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝෂණයක දී කේ.ඩී. චමින්ද ලක්ෂාන් නැමැති දෙදරු පියෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත් වී තවත් පිරිසක් තුවාල ලැබීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනාකොට ප්‍රදේශවාසීන් පිරිසක විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

‍රඹුක්කන පොලිස් වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සිද්ධි අධ්‍යනයන් දෙකක් සිදු කර ඇත. පහත සැබැඳියන් ඔස්සේ එම අධ්‍යයන වාර්ථාවන් ඔබට ලබාගත හැක.

  1. right2lifelanka.org/violent-suppression-of-peaceful-protests-in-response-to-the-economic-crisis-in-sri-lanka-a-close-look-at-rambukkana/
  2. https://www.right2lifelanka.org/violence-in-rambukkana/ 
Social Sharing
නවතම පුවත්