රටේ ගාමක බලවේගය තරුණ පරපුරයි!

රටේ ධනාත්මක වෙනසක් සිදු කළ හැකි ගාමක බලවේගය වන්නේ උගත් තරුණ පරපුර බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

KIU විශ්වවිද්‍යාලයේ 6 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති මෙම උත්සවයේදී ඇමැතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

උපාධි ප්‍රදානෝත්සවය යනු උපාධිධාරියකුගේ ජීවිතයේ කැපවීම, උත්සාහය සහ දැනුම සොයා යෑමේ ව්‍යායාමයේ සුවිශේෂී කඩඉමක් වශයෙන් සනිටුහන් වන දිනයක්. ජීවිතයෙන් වැඩිම කාලයක් සුවහසක් දරුවන්ට දැනුම ලබා දීමට කැප වූ අධ්‍යාපනඥයකු වශයෙන් මෙන්ම හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයකු වශයෙන් ද ඔබ සැමගේ ජයග්‍රහණය උදෙසා මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමනවා. දීර්ඝ කාලයක් තුළ අධිෂ්ඨානශීලීව සිදු කළ කැප කිරීමක ප්‍රතිඵල ලෙස අද දින ඔබ උපාධිධාරීන් බවට පත්ව තිබෙනවා. අනාගත ලෝකයට මුහුණදීම උදෙසා වන අධ්‍යාපන සුදුසුකමක් මෙන්ම අනාගතය හැඩගස්වා ගැනීම උදෙසා වන ප්‍රතිපත්ති හා මූලධර්ම මාලාවක් ද මේ තුළින් ඔබ වෙත හිමිවනවා.

අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ ය‍ෙමකුට නිවැරැදිව සහ විවේචනාත්මකව සිතීමට ඉගැන්වීමයි. බුද්ධිය සහ චරිතය සැබෑ අධ්‍යාපනයේ අරමුණ වන බව මාර්ටින් ලූතර් කිං වරක් පවසා තිබෙනවා. මෙම ආයතනය තුළ ඔබ ලද අධ්‍යාපනය හා මඟපෙන්වීම වත්මන් ලෝකයේ අභියෝගවලට මුහුණදීම සඳහා අත්‍යවශ්‍ය වන විවේචනාත්මක චින්තන කුසලතා, විශ්ලේෂණාත්මක හැකියාවන් සහ පුළුල් ඉදිරි දර්ශනයකින් ඔබව සන්නද්ධ කර තිබෙනවා. රටේ ධනාත්මක වෙනසක් සිදු කළ හැකි ගාමක බලවේගය වන්නේ උගත් තරුණ පරපුරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඇමැතියවරයකු ලෙස අප සතු වගකීම් සහ අභිලාෂයන් පිළිබඳව අවබෝධයක් මා සතුව තිබෙනවා. අධ්‍යාපනය, නවෝත්පාදන සහ සැමට සමාන අවස්ථා හිමිකර දෙන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අපගේ යුතුකමයි. තරුණයන්ට දියුණු විය හැකි සහ ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අප නිරන්තරයෙන් කැපවන්නෙමු. ඔබ ලබන සාර්ථකත්වය එවැනි යහපත් ප්‍රතිපත්තිවල සඵලතාවය, ආණ්ඩුව සහ අනෙකුත් අධ්‍යාපන ආයතන අතර පවතින දිගුකාලීන සහයෝගීතාවය පිළිබඳ සාක්ෂියක් ද වේ.

අන්තර සබඳතා තුළින් සීමාමායිම් ඉක්මවා යන වත්මන් තාක්ෂණික ලෝකය තුළ, ගෝලීය මානසිකත්වයක් සහිත කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ලොව පුරා පිළිගත් ආයතන සහ ජාතීන් සමඟ සබඳතා වර්ධනය කර ගනිමින් මෙම ආයතනය සිදු කරන මෙහෙවර තුළින් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට පමණක් නොව ජාතීන් අතර, මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් ද ශක්තිමත් වන බව මා විශ්වාස කරනවා.

අනාගත ලොව තුළ ධනාත්මක වෙනසක් සඳහා සක්‍රියව දායක වන පිරිසක් බවට පත්වන ලෙසත්, පුද්ගලික ජයග්‍රහණ උදෙසා පමණක් නොව ජාතියේ යහපැවැත්ම සඳහා කැප වූ වගකිවයුතු පුරවැසියන් පිරිසක් ලෙස කටයුතු කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. රටක් සහ ලෝකයක් ලෙස අප මුහුණදෙන දේශගුණික විපර්යාස, සමාජ අසමානතාවය හෝ අභියෝග සඳහා නිර්මාණශීලී විසඳුම් සෙවීම උදෙසා ඔබගේ උනන්දුව, නිර්මාණශීලීත්වය සහ කැපවීම අත්‍යාවශ්‍ය වනවා. මෙවැනි විශිෂ්ට උපාධිධාරීන් පිරිසක් බිහිකිරීම උදෙසා කැප වූ KIU ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට මාගේ කෘතඥතාව පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. අධ්‍යාපනය උදෙසා දක්වන දායකත්වය, මඟපෙන්වීම් තුළින් අනාගත පරපුර වඩාත් යහපත් වනු ඇති බව මා විශ්වාස කරනවා. ඔබ ලබාගන්නා අධ්‍යාපනය ජීවිත කාලය පුරා ඔබ සමඟ පවතින බව මතක තබාගන්න. යහපත්, ප්‍රගතිශීලී සමාජයක් බිහිකිරීම උදෙසා දැනුම සොයා යෑමට අරඹන ගමනේ විශිෂ්ටත්වය ළඟා වීමට ඔබට හැකි වේවායි මා සුබ පතනවා.

ජපානයේ කගොශිමා ප්‍රාන්ත සභාවේ වත්මන් සභාපති හා කථානායක මට්සුසාටෝ යසුහිරෝ (Matsuzato Yasuhiro) මහතා, එහි 71 වැනි සභාපති ටනාඕ කෝසෝ (Tanoue Kozo) මහතා සහ 70 වැනි සභාපති කට්සුසෝ හොකාසෝනෝ (Katsuzo Hokasono) මහතා ඇතුළු සම්භාවනීය නියෝජිතයින්, KIU විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නෙලුකා ප්‍රනාන්දු ඇතුළු අංශ ප්‍රධානීන්, උපාධිධාරී සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සුභාෂිණී සේනානායක

Social Sharing
නවතම පුවත්