විද්‍යාපීඨ 19ම එක සරසවියක් වෙයි යෝජනාව ළඟදීම කැබිනට්ටුවට…

විද්‍යාපීඨ 19ම එකතු කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමැති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.

ඒ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරුන් ලෙස බඳවාගනුයේ දෙවැනි පන්තියේ ඉහළ සාමර්ථ්‍යයක් ඇති උපාධිධාරීන් බවත්, මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ බවත් ඇමැතිවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. අධ්‍යාපන පරිපාලන සේවාව, ගුරු අධ්‍යාපනඥ සේවාව, විදුහල්පති සේවාව, ගුරු උපදේශක සේවාව, ගුරු සේවය ලෙස අධ්‍යාපනයේ ක්ෂේත්‍රය තුළ සේවා 5ක් පවතින බවත්, විද්‍යාපීඨවලින් බිහි වන ගුරුවරුන් ගුරු අධ්‍යාපනඥ සේවාවට අයත් බවත් ඇමැතිවරයා මෙහිදී කීවේය.

කුසලතා සහ දිස්ත්‍රික් පදනම යටතේ විද්‍යාපීඨවලට බඳවාගැනීම් සිදු කරන බවත් පසුගිය සමයේ 7,500ක් බඳවාගෙන ගුරු පුහුණුවීම් දෙන බවත් ඇමැතිවරයා පැවසීය. මීට පෙර බඳවාගැනීම් කිරීමේදී වාර්ෂිකව 4,000ක පමණ පිරිසක් පුහුණුවට බඳවාගත්තේ යැයිද ඇමැතිවරයා කීය. ගුරු අධ්‍යානඥ සේවාවට 2,100ක පමණ පිරිසක් බඳවාගැනීමට පියවර ගන්නා බවත්, මීට වසරකට පමණ පෙර අමාත්‍යාංශය භාර ගන්නා විට මේ සේවාව සඳහා සිටියේ 866ක පිරිසක් බවත් ඇමැතිවරයා පැවසීය. ගුරු අධ්‍යාපනඥ සේවාව සඳහා 705ක් බඳවාගැනීමේ පරීක්ෂණ මීට සති 2කට පමණ පෙර අවසන් වූ අතර, එහි ප්‍රායෝගික පරීක්ෂණ හැකි ඉක්මනින් පවත්වන බවද ඇමැතිවරයා කියා සිටියේය. වැටුප් තල 12 ඉහළ නැංවීමට අදාළ කටයුතු සැලසුම් කරමින් තිබෙන බවත්, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව සකස් කර අවසන් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. භාණ්ඩාගාරයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ඒ සඳහා අවශ්‍ය වන බවත්, එළැඹෙන අගඟහරුවාදා හෝ බ්‍රහස්පතින්දා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කමිටුවේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ප්‍රතිපත්තිමය තීරණයක් බවට පත් කරගැනීම සඳහා ඊළඟ සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

Social Sharing
නවතම පුවත්