ඇගේ නම ශකාරි!

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය මේ වනවිට හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී අවසානයට ලඟා වෙන්නෙ වාර්ථා පොත් අලුත් කරමින් වගේම ධාවන පතයේ අළුත් තරු නිර්මාණය කරමින්. උසේන් බෝල්ට්ගෙන් හිස්වූ ධාවන පථයට ඇමරිකා එක්සත් ජනපදයේ නෝආ ලීල්ස් ජවයත් ශක්තියක් කැඳවාගෙන එන්නේ නෝආගේ ආකර්ශනීය චරිතය නිසා පමණක්ම නෙවේ… නමුත් මීටර් 100, 200 සහ මීටර් 100X4 සහාය දීවීම යන ඉසව් තුනේම රන් පදක්කම් දිනා ගනිමිනුයි.

ඊට නොදෙවෙනි තරඟ රටාවක් බුඩාපෙස්ට් නුවර ප්‍රදර්ශණය කරපු තරුණ ක්‍රීඩිකා ශා කාරි රිචර්ඩ්සන් ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වන්නේ මීටර් 100 ඉසව්ව තත්පර 10.65 කින් නිම කරමිනුයි.

මේ කාලය ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ නව තරඟ වාර්ථාවක් ලෙස සටහන් වෙද්දි ශා කාරි විසින් බිඳහෙලන්නේ මේරියන්ස් ජෝන්ස් විසින් 1999 වසරේ පිහිටුවා තිබූ තරඟ වාර්ථාවයි. මේරියන්ස් ජෝන්ස් මේ වාර්ථාව පිහිටුවද්දි ශා කැරී රිචර්ඩ්සන් උපත ලබල වත් නැහැ.

සුපිරි ජැමෙයිකානු ක්‍රීඩිකා ශෙලී ඈන් ෆ්‍රේසර් වගේම ශෙරිකා ජැක්සන් පරාජයට පත් කරමින් ශා කාරි ලැබූ ජයග්‍රහණය කීප අතකින්ම ක්‍රීඩා ලෝකයට වැදගත් වෙනව. මෙවර ලෝක ශූරතා තරඟාවලිය රිචර්ඩ්සන්ගේ පලමු ලෝක ශූරතා තරඟාවලිය වගේම පිලිගත් ප්‍රථම ජාත්‍යන්තර තරඟය. අනිත් අතින් ශෙලී ඈන් ෆ්‍රේසර් , මාරි ජොසේ තාලු , ශෙරිකා ජැක්සන් වගේ ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩා ධාවන පතයේ ප්‍රවීන ක්‍රීඩිකාවන් වෙද්දි ශා කාරිට තවම වයස අවුරුදු විසි තුනයි.

මීටර් සීය ඉසව්වෙන් නොනැවතුනු මේ තරුණ ක්‍රීඩිකාව මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්නේ තමන්ගේ පෞද්ගලික හොඳම කාලය වාර්ථා කරමින්. ඒ එක්කම මීටර 100x 4 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නේ නව තරඟ වාර්ථාවක් පිහිටුවමින්.

ශා කාරි විසින් ධාවන පථයට කැඳවාගෙන එන විලාසිතා , ආභරණ , වර්ණ හා ජවය පුදුමාකාරයි. විවිධ වර්ණ වලින් යුත් දිග නිය පොතු.. පාට පාට හිස කෙස් හා විලාසිතා අපට මතක් කර දෙන්නේ 1988 සියොල් ඔලිම්පික් උළෙලේ වඩාත්ම අවධානයට ලක්වූ ලෝක ශූරිය වූ ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් හෙවත් ෆ්ලෝ ජෝ ව. ( FLO JO )
කාලයක් තිස්සෙ ධාවන පතයට අඩුවක්ව පැවතුනු “දිවා” චරිතයට පන දෙන්න ශා කාරිට හැකිවෙන්නෙ ලොව වටා අවධානය ඇය වෙතට ආකර්ශණය කර ගනිමින්.

මේ විලාසිතා වගේම ශා කාරි ගෙ හැසිරීමත්… කතාවත් ඇමරිකානු මාධ්‍යයේ වගේම ලෝක මාධ්‍යයෙත් දැඩි විවේචනයට ලක්වෙනව. මේ විවේචන වලට සමාජ මාධ්‍ය හරහා පිලිතුරු දෙන්න රිචර්ඩ්සන් කිසි විටෙක පැකිලෙන්න නෑ.
“කළු දිග ගවුමක් ඇඳගෙන වේල් එකකින් හිස වසාගෙන ඉන්න තරුණියක් දකින්න නම් උඹලා කන්‍යාරාමයකට පලයල්ලා ක්‍රීඩා පිටියට එන්නෙ නැතුව” ශකාරි වරක් උත්තර දෙනව.

සී එන් එන්… සී එන් බී සී.. ෆොක්ස් ස්පෝර්ට්ස් වගේ ඇමරිකානු සුපිරි මාධ්‍ය ආයතන හා සම්මුඛ සාකච්ඡා ශකාරි විසින් වර්ජනය කරන්නෙ දැනට වසර කීපයක සිටයි. විශේෂයෙන්ම ධාවන පතය අසල සිටින සුපිරි නිවේදකයයන් නොදැක්කා සේ මගහැර යාම සඳහා මේ තරුණ ක්‍රීඩිකාව ප්‍රසිද්ධියක් උසුලනව. “අනුන්ට කතංදර හදන… කමකට නැති කුඩුකේඩු මාධ්‍ය මට පෙන්නන්න බෑ. හොයන්නෙ අනුන්ගෙ කුණුගොඩවල් මිස දකින්නෙ දක්ශතා නෙවෙයි.” ඇමරිකානු මාධ්‍ය ගැන එයා කියන්නෙ මේ වගේ කතාවක්.

ඇයි මේ තරම් ආඩම්භර හැසිරීමක්..? ඇයි මේ තරම් නොහික්මුණු කමක්..? මේ කියවන ඔබටත් හිතෙන්න පුළුවන්.

අද ලෝකයේ සුපිරිම… ආකර්ශණීයම ක්‍රීඩිකාවක් වුනත් ශා කාරි රිචර්ඩ්සන්ගේ ගමන පහසු ගමනක් නෙවෙයි.

මුලින්ම මේ තරුණ ක්‍රීඩිකාව ගැන ලෝක මාධ්‍යය වාර්ථා කරන්නෙ 2019 වසරේදී ඇමරිකානු විශ්ව විද්‍යාල තරඟාවලිය හෙවත් එන් සී ඒ ඒ ශූරතාවත් ( NCAA) සමගයි. එල්.එස්.යූ හෙවත් ලුසියානා ප්‍රාන්ථ විශ්ව විද්‍යාලය නියෝජනය කරන 19 හැවිරිදි ශා කාරි නම් තරුණ ක්‍රීඩිකාවක් මීටර් 100 ඉසව්ව ජයග්‍රහනය කිරීමත් සමග ඇමරිකානු මාධ්‍ය ඇය ගැන කතා කරන්නට පටන් ගන්නව.

2021 වසරේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලට ශා කාරි රිචර්ඩ්සන් සුදුස්කම් ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වේගවත්ම ක්‍රීඩිකාව වෙමින්. නමුත් මීටර් සීය ජයග්‍රහනයෙන් පසුව ඇමරිකානු බලධාරීන් ඇයව තරඟයෙන් අවලංගු කරනු ලබන්නේ ඇය මරිජුවානා හෙවත් ගංජා පාවිච්චි කර ඇති බවට වාර්ථාවෙන නිසයි.
මරිජුවානා මත්ද්‍රව්‍යයක් ලෙස වර්ග කර ඇති මුත් එමගින් ධාවන හැකියාව වැඩි දියුණු වෙන්නෙ නැහැ. නමුත් ඇමරිකානු බලධාරීන් ශා කාරිව ඔලිම්පික් සංචිතයෙන් ඉවත් කරන්නෙ සහාය දිවීමේ ඉසව්වට සහභාගී වීමේ අවස්ථාවත් අවහිර කරමින් වගේම මාස කීපයක තරඟ තහණමක් පනවමින්. ඇමරිකානු බලධාරීන් වගේම ඇමරිකානු මාධ්‍ය ඉතා දැඩිව ශා කාරි විවේචනය කරනව. ඒ එක්කම ඉහල පෙලේ ක්‍රීඩා නිළධාරීන් විසින් වගේම අනුග්‍රාහක ආයතන මගින්ද මේ තරුණ ක්‍රීඩිකාව ගැන අවතක්සේරු කරනව. කොටින්ම මරිජුවානා සිද්ධියෙන් පස්සෙ ශා කැරි අවලංගු කාසියක් තරමටම ක්‍රීඩා පිටියෙන් බැහැර කෙරෙනව.

මේ සම්භන්ධයෙන් හඬ අවධි කරන ශා කාරි කියන්නෙ මේ වගේ කතාවක්. “හැමෝටම පුළුවන් විවේචනය කරන්න.. කථා හදන්න… මට කරන්න දෙයක් නෑ. අනිත් හැම තරුණයෙක් තරුණියක්ම වගේ මමත් ගංජා සුරුට්ටුවක් උරල තියනව වරක් හෝ දෙවරක්. ඒක කුරුසේ ඇන ගහන තරම් වරදක්.. ඔබට කියන්න පුළුවන්. තරඟාවලියට දවස් තුනක් තියෙද්දි මට උපත ලබා දීපු මගෙ අම්ම මිය යනව හදිසියේම. එයා ගැන මම දැනගන්නෙත් මීට සතියකට වගේ කලින්. මම හැදෙන්නෙ වැඩෙන්නෙ මගේ ආච්චි ලඟ මිස අම්මා ලඟ නෙවෙයි. මගේ බාරකාර මවගෙන් ප්‍රථික්ශේප වූ මට ආදරය තිබුනෙ ආච්චි අම්මා ලඟ පමණයි. කිසි දවසක නොදැකපු මගේ අම්මා දකින්න මම ආසාවෙන් හිටියෙ. මේ හැම දුකක්ම මැද්දෙ මම ගංජා සුරුට්ටුවක් ඉරුවා… ඒකෙන් මට සහනයක් ලැබුනා.. එච්චරයි. මොනව වුනත් ඒක මගෙ වරද.. මම නිදහසට කරුණු කියන්නෙ නෑ”

මෙන්න මේ කතාවයි බොහෝ දෙනෙක් දන්නෙ නැත්තෙ. ශා කැරි උපදින්නෙ ටෙක්සාස් ප්‍රාන්ථයේ ඩලාස් නුවර. තාත්තෙක් නැතිව … තනි මවකට ලැබෙන මේ දැරිවිය මව විසින් අත් හැරල දානව. භාරකාර මවකගෙන්ද ප්‍රථික්ශේප වෙන ශා කාරි අනාථ මඩමකට යා නොදී අමාරුවෙන් හදා වඩා ගන්නෙ එයාගෙ ආච්චි අම්මා විසින්. ඉතාම දුගී ලමා කාලයක් ගත කරන ශා කැරි ක්‍රීඩාවට දක්ශකම් දක්වන්න පටන් ගන්නව. ටෙක්සාස් ප්‍රාන්තයේ කුඩා පාසැලකට ඇතුල් වෙන ශා කැරී පිරිමි ලමුන් එක්ක තරඟයට දුවල දින්නන පුරුදු වෙනව.

මේ දක්ශකම් නිසාම ලුසියානා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලබන මේ තරුණ ක්‍රීඩිකාව වසර තිහක් පැරනි මීටර් 100 ඉසව්වේ ධාවන වාර්ථාව පහසුවෙන්ම බිඳ දානවා 2019 වර්ශයේදී. 1989 වර්ශයේ Dawn Sowell නම් ක්‍රීඩිකාව විසින් පිහිටුවා තිබූ වාර්ථාව බිඳ දැමීමත් එක්කයි ශා කැරි ගැන මාධ්‍ය කතා භහ කරන්න පටන් ගන්නෙ.
එතනින් පස්සෙ තමයි ශා කැරී ඇමරිකාවේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වෙන්නෙ.

මරිජුවානා චෝදනාවෙන් පස්සෙ වසරක පමණ කාලයක් නිහඬව සිටි රිචඩ්සන් 2022 ඇමරිකානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පරාජය ලැබීමත් සමග නැවතත් දරුණු විවේචන හා අපහාස වලට මූන දෙනව. “විලාසිතා හා මෝස්තර පමණයි එයා ධාවනයට බයයි.” “කට කියවන ශකාරිට වැඩ බැහැ.” “සුපිරි ජැමෙයිකානු ක්‍රීඩිකාවන් සමග කිසිම තරඟයක් දීමට ශ කැරීට හැකියාවක් නැහැ.” මෙවැනි පුවත් පත් සිරස්තල ඇමරිකානු මාධ්‍යයේ නිතරම දකින්න පුළුවන්. ඩයම්න්ඩ් ලීග් තරඟාවලියේ පරාජය ලබන හැම විටම විහිළු.. අපහාස හා සමච්චලයට ලක්වෙන්න ශා කැරීට සිදුවෙනව. මාධ්‍ය ආයතන විවෘත්තව විවේචනය කිරීම නිසා ගෙවන්න වෙන මිළ සුළු පටු නැහැ.

මෙන්න මේ පසුබිමක් යටතේ තමයි ශා කැරී රිචර්ඩ්සන් නව තරඟ වාර්ථාවක් එක්ක ලෝකය ජය ගනු ලබන්නේ.

ඇගේ විලාසිතා ගැන… හැසිරීම ගැන.. ලිංගිකත්වය ගැන ලෝකය දහසක් දේ කියාවි.

නමුත් අත් හැර දැමූ කුඩා ලදැරියක්…තමන්ගේ මිත්තනිය ලඟ හැදිල වැඩිල… දුප්පත් කමෙන් පීඩා විඳලා.. හැමෝගෙන්ම අපහාස විඳල අන්තිමේදී ලෝකයම ජය ගැනීම විශිෂ්ඨ නැද්ද..?

රූපවාහිනී තිරයේ දකින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියළු සැප සම්පත් සහිත සුපිරි මිනිසුන් ලෙස අපි දකිනව. මාධ්‍ය මගින් මාධ්‍ය ආයතන වලට අවශ්‍ය ප්‍රථිරූප … කතංදර මවල දෙනව. නමුත් මේ පිටුපස තියෙන දුක් කඳුළු… අපහසුකම් දකින්නෙ බොහොම සුළු පිරිසක් පමණයි.

ලෝක මාධ්‍ය මගින් සතුරන් බවට පත් කල ශා කැරී.. ශෙලී ඈන් හා ශෙරිකා ජැක්සන් මෙවර ලෝක ශූරතා තරඟාවලියේදී මිතුරියන් බවට පත්වීම තවත් විශිෂ්ඨ කාරණයක්.

හැමෝටම තියනව කථාවක් කියන්න. ඒ කථාව මාධ්‍ය මගින් මවල දෙන කතාවට වඩා විශිෂ්ඨයි.. සංවේදීයි.

මැල්කම් සෑන්ග්

Social Sharing
අවකාශය නවතම