ව්‍යාජ චීවරධාරීන්ගේ දුශ්ශීල ක්‍රියා සමාජ ගත වෙනවා…

සැබෑ බෞද්ධකම යනු බුදු දහමේ දාර්ශනික හරය නිසි ලෙස වටහා ගෙන ඊට අනුරූපව තම ජීවන රටාවන් සකසා ගැනීමේ අවශ්‍යතාවය එදාට වඩා අදට වඩාත් අදාලවන බවත්, බුදු දහම පිටින් ස්පර්ශකොට හැසිරෙන ව්‍යාජ පිරිස් නිසා තරමක හානිකර තත්වයක් පිටතින් පෙනුනද සැබැවින් ඊට අනුගත වී සිටින පිරිස් නිසා කිසි විටකත් ශ්‍රී සම්බුද්ධ සාසනයට කිසිවිටකත් හානි කල නොහැකි ලෙස එම දහම මතුමතුපරම්පරාවන් සඳහා මනාව ස්ථාපිත කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මාතලේ රජ්ජම්මන ශ්‍රී සම්බුද්ධ රාජ රාමවිහාරස්ථානයේදී සත් බුදු මහ සෑ චෛත්‍ය රාජයන් සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ පැවති ජන හමුව අමතා පැවසීය.

තවදුරටත් කථා කල දිසානායක මහතා,

බොහෝ පිරිස් බුදු දහම සංවර්ධනය, ප්‍රවර්ධනය පිළිබද දේවල් කියනවා. අද වන විට මුළු විශ්වයේම ගෞරවාදරයට පත්වී තිබෙන දාර්ශනිකම දහමක් ලෙස සවිඥානිකව බුද්ධිමත් ලෝවැසියන් පිළිගන්නා බුදුදහම මතු පරම්පාරවක් සඳහා මනාව ප්‍රචාරය කොට, සංවර්ධනය කොට තිබෙන බවත්, එම සුරක්ෂිත දහමින් අපගේ ජීවිත මනා ලෙස හැඩ ගස්සවා ගැනීම පමණක් අප කල යුත්තේ,මේ දහම අපි ප්‍රායෝගික ක්‍රියාවටනංවා ගත යුතු යැයිද දිසානායක මහතා පවසයි.

කාලයෙන් කාලයට ව්‍යාජ චීවර ධාරීන්ගේ දුශ්ශීල ක්‍රියා සමාජ ගත වෙනවා. ඒවා සමාජ ජාල හරහා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. සමහරක් පදනම් විරහිත ක්‍රියා, මේ සමාජ ජාලා ක්‍රියාකාරකම් ඉහලට දමා ආර්ථික ඉලක්ක දිනාගන්නටත් කරන වැඩ ලෙස සමහර ඒවා හදුනාගෙන තිබෙනවා. බුදු සමයේදී දේවදත්තලා, චිංචිමානවිකාවන් හිටියනම් දැන් මේ විපරීත කාලයේ මොන කතාද?

නැවත නැවතත් අපි බුදු දහමේ හර පද්ධතිය වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීමයි කල යුත්තේ. එසේම රට ගැන කතා කරොත් රට ණය උගුලක වැටිල තියෙන්නෙ කියලා ඇහෙනවා. සේරම චෝදනා පාර්ලිමේන්තුවේ 225 දිහාවටමයි, එල්ල කරන්නේ. ඒත් සීරුවෙන් බලන්න ඕනෑ රටේ රාජ්‍ය නිලධාරීනුත් තරමක් හෝ මේකට වගකියන්න ඕනෑ.

තෝරාගත් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 වසරේ සම්පූර්ණ කිරීමට රජය අපේක්ෂා කරනවා. එයින් නොපියවූ ණය අඩු කිරීම මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විකල්ප ඇගයීමේ ක්‍රියාවලියකට රජය නිරතව සිටිනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය තුලින් 2023 වසර වනවිට නොපියවූ රාජ්‍ය ණය දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයන් ලෙස 95%කට වඩා පහල මට්ටමකට අඩු කිරීමට අපේක්ෂා කරනවා. මේ තමා ඇත්ත. මේ ව්‍යවසන අවධිය උපාය මාර්ගිකව දිනා ගන්නටම වෙනවා. ඒ නිසා පක්ෂ දේශපාලනය මදකට පැත්තකින් තියලා “රට ගොඩනගන වැඩේට” දේශපාලඥයන් ලෙස අපගේ දැක්ම විය යුතුයි. අපි ඇත්ත තිත්ත වුවත් මුහුණදිය යුතුමයි.

ගැමුණු ධර්ම ශ්‍රී හේරත්

Social Sharing
අවකාශය නවතම