ආරුගම්බේ සංචාරක කලාපය සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින්!

ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නිසි සැලැස්මක් ඔස්සේ ඒ කටයුතු ක්‍රියාවට නංවන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ආරුගම්බේ වෙරළ තීරයේ ප්‍රචලිත දියමත ලිස්සා යාම වැනි ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයන් සමඟ ඊයේ (25) පෙරවරුවේ පැවති හමුවේදීය.

සංචාරක ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සොයා බැලීමට කැඳවා තිබූ මේ සාකච්ඡාවට රාජ්‍ය නිලධාරීන් මෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවන්හි නියුතු පිරිස් ද එක්ව සිටියහ.

2035 වසර වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් හිමිවන්නේ සංචාරක ව්‍යාපාරය මඟින් බව ලෝක වාර්තා පෙන්වා දෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ශ්‍රී ලංකාව ද සූදානම් කළයුතු බවත්, සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ගැටලුවලට සෘජුව විසඳුම් ලබාගැනීමට හැකියාව පවතින බවත් පැවසීය.

නැඟෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය අදියර දෙකක් යටතේ සංවර්ධනය කළ යුතු අතර, ඉදිරි වසර 10 තුළ එම කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (25) උදෑසන අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ හා පීනට් ෆාම් වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

සංචාරක ප්‍රදේශවල පවතින අඩුපාඩු ගැන සොයා බැලූ ජනාධිපතිවරයා එහි පැමිණ සිටි සංචාරකයන් සමඟ සුහද කතා බහක ද නිරත විය.

අනතුරුව පැවති සාකච්ඡාවේ දී සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් විමසා බැලීය.

ආරුගම්බේ වෙරළ තීරය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ දී එහි පවතින ධීවර වරාය ධීවරයන්ට අවශ්‍ය පහසුකම් සමඟ වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා ජනාධිපතිවරයා දැනුම්වත් කළ අතර ඒ පිළිබඳව කඩිනම් පියවර ගත යුතු අතරම මේ ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස වෙන්කර ගනිමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරතවූවන්ට ව්‍යාපාරික ස්ථාන සඳහා ස්ථීර ඔප්පුවක් නැතිකම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර ඒ පිළිබඳව ද වාර්තාවක් කඩිනමින් දෙන ලෙසත්, ඊට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ව්‍යාපාරික ස්ථානවලට සහ එහි පැමිණෙන සංචාරකයන්ට මුහුණදීමට සිදුව ඇති පානීය ජල ගැටලුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ආරුගම්බේ ප්‍රදේශයේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා යෝජිත හැඩ ඔය පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමට තවත් වසර කීපයක් ගත විය හැකි බැවින් නාවික හමුදාවේ සහාය ඇතිව දැනට පවතින ස්වභාවික කුඩා ජල මූලාශ්‍ර සඳහා ප්‍රතිආශ්‍රැතකරණ ජල පිරිපහදු යන්ත්‍ර සවි කිරීම පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

පසුගිය වසරේදී අපේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ අනුව ණය නොගෙවූ බංකොලොත් රටක් බවට අප පත්වුණා. රජය ගෙන ගිය නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් මේ වසරේ අප කොලොත්භාවයෙන් නිදහස් වුවත් අපට ණය ගෙවීමට සිදු වෙනවා. ඒ වගේම රට ඉදිරියට ගෙන යෑමේ දී විදේශ විනිමය අවශ්‍යයි. ඒ නිසා වෙළෙඳ ශේෂය ඉහළ නංවා නොගතහොත් ණය වැඩි වී තවත් වසර 10කින් අපට නැවත ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු වෙනවා.

එය වළක්වා ගැනීම සඳහා අප නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී නැඟෙනහිර පළාත පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සංවර්ධනය වෙනුවෙන් නව සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය දියුණු කිරීමට අපට ඉන්දීය රජයේ සහාය හිමිව තිබෙනවා.

මහවැලි ව්‍යාපාරයේ වම් ඉවුරේ ඉඩම් කොටසත් මෙයට එක් කර ගනිමින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී අක්කර දහසක පමණ ආයෝජන කලාපයක් ඇති කිරීමට ද නියමිතයි. එහි සංචාරක කරමාන්තය දියුණු කරනවා වගේම කෘෂි නවීකරණ වැඩසටහනක් සමඟ ධීවර කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ද කටයුතු කරන බව කිව යුතුයි.

ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිය යුතුව තිබෙනවා. මේ ප්‍රදේශයේ ජීවත් වන්නේ ඉතා දිළිඳු ජනතාවක්. අප ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නවීකරණය වගේම කෘෂි නවිකරණයක් සිදු කළයුතුයි. වී වගාවේ දී හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 07ක්,08ක්වත් ලබා ගත යුතුයි. සත්ව පාලනය පිළිබඳවද ද නව වැඩසටහන් පළාතේ ක්‍රියාත්මක කර තිබෙනවා.

එළැඹෙන දශකයේ දී මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50ත්, ඉන් අනතුරුව කෝටියත් අතර සංඛ්‍යාවකින් ඉහළ නංවාගත යුතුයි. 2035 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරය මගින් බව වාර්තා පෙන්වා දෙනවා. ඒ නිසා එහි තමන්ගේ දායකත්වය පිළිබඳ රටවල් අවධානය යොමු කළයුතුයි.

ඒ අනුව වාර්ෂිකව මේ ප්‍රදේශයට අවම වශයෙන් සංචාරකයන් ලක්ෂ 10ක්-20ක් අතර ප්‍රමාණයක් ගෙන්වාගත යුතුයි. එම එක් සංචාරකයකුගෙන් දිනකට ඩොලර් 300ක් හෝ 500ක් අය කර ගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් නැඟෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

අද තිබෙන්නේ වෙනස් සංචාරක ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි පැමිණෙනවා. සංචාරක ආකර්ෂණය දිනාගත් දිය මත ලිස්සා යාම (surfing) වැනි ක්‍රීඩා මෙහි ප්‍රවර්ධනය කළයුතුයි.

මේ සම්පුර්ණ ප්‍රදේශයම සංචාරක කලාපයක් ලෙස දියුණු කළ යුතුයි. ඒ වගේම මේ නගරයේ සහ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ ද ඉදිරියට ගෙන යා යුතුයි.

කිසිවිටකත් සංචාරක ව්‍යාපාරයේ දියුණුව සහ ජන ජිවිතය පටලවා නොගත යුතුයි. ඒ වගේම අම්පාර බස් නැවතුම්පොළ ද සංවර්ධනය කළයුතුව තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයට පැමිණෙන සංචාරකයන් දින කීපයක් මෙහි රඳවා ගැනීමට නම් නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වගේම මුළු රටම සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කර සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා-

ආරුගම්බේ වෙරළ තීරයට ඇතුළුවන ස්ථානයේ ධීවර තොටුපළක් තිබෙනවා. අප එය වෙනස් කර ගත යුතුයි. 1987 ජේ.ආර්. ජයවර්ධන මහතා ද මෙය ඉවත් කිරීම ගැන කටයුතු කළා. නමුත් අවාසනාවකට එය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින පිරිස් මුහුණ දී ඇති ගැටලු සඳහා අප කඩිනම් විසඳුම් ලබාදිය යුතුව තිබෙනවා. අද පරිසර අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජිවි දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතනවල නිලධාරීන් ද සමඟ ජනාධිපති මේ සාකච්ඡාව කැඳවනු ලැබුවේ එම ගැටලුවලට දිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමටයි. මේ කරුණු පිළිබඳව ජනාධිපතිතුමා හොඳ අවබෝධයකින් සිටිනවා. එම නිසා ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් එතුමා ලබාදෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම් මුෂාරෆ් මහතා-

මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනාධිපතිට දිර්ඝ ලෙස විස්තර කිරීම අවශ්‍ය නැහැ කියා අද මම තීරණය කළා. එතුමාට මේ කටයුතු පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. අද ආරුගම්බේ මෙන්ම පිනට් ෆාම්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වී සාකච්ඡා කළයුතු කරුණු පිළිබඳ මනා අවබෝධයකින් යුතුවයි එතුමා මේ ස්ථානයට පැමිණියේ.

රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ දැන් ජනාධිපති ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩපිළිවෙළේ සාර්ථක අවසානයක් දැකීමට නම් තව වසර 10කට හෝ 15කට එතුමා මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළයුතුයි. රට නිවැරැදි ලෙස සංවර්ධනය කළ හැක්කේ ජනප්‍රිය නොවන තීන්දු මගින් බව අප ද විශ්වාස කරනවා. එම වැඩපිළිවෙළ සහ සැලැස්ම ජනාධිපතිතුමා දැන් ක්‍රියාත්මක කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා-

අපේ රට ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාවික සෞන්දර්යයෙන් අනූන රටක්. එය එක් පළාතකට සීමා වී නැහැ. සැම පළාතකටම එක සේ වටිනාකමක් තිබෙනවා. ඒ වගේම ඒ ඒ පළාත්වලට ආවේණික සම්පත් තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදීමේ හැකියාව මේ නැඟෙනහිර පළාතට තිබෙනවා.

අපේ රට වටිනා භූමියක් බව මම අමුතුවෙන් කිවයුතු නැහැ. එබැවින් මේ රටේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදී ප්‍රතිපත්තිමය තීන්දුවලට එළැඹීමෙන් රට විශාල දියුණුවක් කරා ගෙන යා හැකියි. පරිණත දේශපාලනඥයෙක් වන ජනාධිපතිට එය කළ හැකි බව අප විශ්වාස කරනවා.

පුරාවස්තු එක පිරිසකගේ පමණක් නොව මේ රටේ උපන් සියලුදෙනාගේ උරුමයක් ලෙස ආරක්ෂා කර ගනිමින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කළයුතුයි. ඒවගේම වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ද නිසි සැලැසුමක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ

Social Sharing
ආර්ථික නවතම පුවත්