මහ අස්වනු එන තෙක් රටේ සහල් තොග ඇති, පිටරටින් ගේන්න ඕනෙ නෑ!

එළඹෙන මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට රටේ ඇති සහල් තොග හා වී තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණික අංශය, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ බව හෙළි විය. දැනට පවතින කාලගුණික තත්ත්වය රටේ ආහාර සුරක්ෂිතතාව උදෙසා සිදු කළ හැකි බලපෑම සම්බන්ධව මෙහිදී ඇමැතිවරයා හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිලධාරීන්ගෙන් කරුණු විමසීය. දැනට සිදු කර තිබෙන පුරෝකථනයන් අනුව රටේ පවතින සහල් හා වී තොග 2023/24 මහ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් ප්‍රමාණවත් වනු ඇති බවත්, සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගිනු ඇති බවත් එහිදී එම මධ්‍යස්ථානය අවධාරණය කළේය. එමෙන්ම අතිරේක ආහාර භෝග වන මුං ඇට, කව්පි, උඳු, රටකජු හා කුරක්කන් ද අවශ්‍ය ප්‍රමාණයට තොග රටේ පවතින බවත් එනිසා ආහාර හිඟයක් ඇතිවීම සම්බන්ධව බියක් තබා ගත යුතු නැති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කළේය. එමෙන්ම කුකුළු මස් හා බිත්තර ද මෙම වසර අවසන් වන තෙක් පරිභෝජනයට අවශ්‍ය තරම් පවතින බවත්, එළවළු මිල ඉහළ යෑම පවතින නියඟය හමුවේ තවදුරටත් පවතින අයුරින්ම තිබෙනු ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

උපාලි ද සේරම්

Social Sharing
නවතම පුවත්