විප්ලවයක් කළ මහාචාර්ය හාමුදුරුවෝ.

Walpola Rahula Thero

-කුසුම්සිරි විජයවර්ධන-

විප්ලවයක් කළ මහාචාර්ය හාමුදුරුවෝවල්පොල රාහුල හාමුදුරුවෝ වර්තමාන භික්ෂු පරම්පරාවට අපූරු ආදර්ශ ගතහැකි චරිතයක්. කිසිදිනක විහාර පන්සල් ගොඩනැගීමට උනන්දු නොවූ උන්වහන්සේ කවදාවත් නායක පදවියක්වත් දරා නැහැ. ඉතා සරල ජීවිතයක් තමයි ගෙව්වේ. නියම බුදුදහම ලෝකයට කියාදෙන්න උන්වහන්සේ දැරූ උත්සාහය අදටත් ඇගැයීමට ලක්වෙනවා.

ශිෂ්‍ය අවදිය ගැන මතක

රාහුල හිමි තරුණ අවදියේ උත්සවයකට සහභාගිවෙමින්-

මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ දකුණු පළාතේ ගාල්ල ඉමදූව ආසන්නයේ වල්පොල නම් වූ ගමෙහි, දස දෙනෙකුගෙන් යුත් පවුලක ලාබාලතම සාමාජිකයා වශයෙන් 1907 මැයි 9 දා උපත ලැබුවා. පියා වුණේ හෙට්ටිගොඩ ගමගේ දොන් කරෝලිස් ද සිල්වා යි. මවගේ නම හත්තොටුව තමගේ සිළිඳුහාමි නම් වුණා. මුලින්ම ගමේ පාසලට ගිය උන්වහන්සේ වයස අවුරුදු 13 දී ගෞතමාරාමය නම් ගමේ පන්සලෙහි දී පැවිදි දිවියට එළඹෙනවා. පැවිදි නම වුණේ වල්පොල ධම්මදස්සී. මේ නම වර්ෂ අටකට පමණ පසු වල්පොල රාහුල ලෙස වෙනස් කර ගන්නවා. උන්වහන්සේ පවසා ඇත්තේ සිදුහත් කුමරුගේ පුත් රාහුල හිමියන්ගේ නමට ඇති කැමැත්ත නිසා ඒ නම ලබාගත් බවයි.

පොල්කටු නිකාය

මහණ වී ටික කලකින්ම මේ සාමණේර හිමියන් පරගොඩ සුමනසාර ස්ථවිරපාදයන්වහන්සේ වෙත වැඩිදුර අධ්‍යාපනය සඳහා භාර දී තිබෙනවා. පරගොඩ හාමුදුරුවෝ කියන්නේ ආරාමික ජීවිතය අත්‍යන්තයෙන්ම අනුගමනය කිරීමට කැප වූ පඬිවරයෙක්. ඒ හිමියන්ගේ ගුරුහරුකම් ලැබීම නිසා රාහුල හිමියන්ගේ ජීවිතයේ පළමු තීරණාත්මක අවධිය එළඹුණා.

උන් වහන්සේ සහ රාහුල හිමියන් ඇතුළු ශිෂ්‍යයෝ පහසුකම් සහිත ආරාමික ජීවිතය අතහැර ආරණ්‍යයක ජීවිතයක් ඇරඹුවා. නූතන පහසුකම් අත්හැරීමත්, අවම අවශ්‍යතා සහිත සරල දිවි පැවැත්මත් මේ ජීවිතයේ මූලික ලක්ෂණය වුණා. රැඩිකල් සිතක් තිබූ රාහුල හිමියන් ද අලුත් භික්ෂු ජීවිතය කැමැත්තෙන් අනුගමනය කළා. පිණ්ඩපාතයෙන් යැපෙමින්, පරණ සිවුරු දරමින්, පොල්කටු කෝප්ප භාවිතා කරමින්, මුදල් භාවිත නොකරමින් අල්පේච්ඡ ජීවිතයක් ගත කළා. සමහර හාමුදුරුවරුන් පවා මේ කණ්ඩායම “පොල්කටු නිකාය” ලෙස අවඥාවෙන් හැඳින්වීමට පටන් ගත්තා. තම පැරණි මතකය අවදි කරමින් උන්වහන්සේ මෙසේ පවසා තිබෙනවා:

“මුල් ඉස්කෝලෙන් අස්වෙලා ගියාට පස්සේ පිරිවෙණකවත්, ඉස්කෝලෙකවත් කවදාකවත් මම ඉගෙනගෙන නෑ. සේරම ඉගෙනීම කළේ තනිවම යි. පරගොඩ පන්සලේ දී අපට හමුවුණා පරගොඩ සුමනසාර හාමුදුරුවෝ. හාමුදුරුවෝ බොහෝම උගත් කෙනෙක්. පාලි, සංස්කෘත, සිංහල පමණක් නෙමෙයි, ධර්ම අතිනුත්. පරගොඩ පන්සලට උඩහ තිබුණා කැළයක්. ඔය කැළේ අපි නතරවෙලා, සුමනසාර හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් කුටි හදාගෙන පිණ්ඩපාතෙන් තමයි ජීවත්වුණේ. ඔය කාලෙ දී මම ධ්‍රැතාංග දෙකක් ආරක්ෂා කළා. පිණ්ඩපාතිකාංගය, ඒ කියන්නේ පිණ්ඩපාතය ගොහිල්ලම ලැබෙන දේකින් ජීවත්වෙන්න ඕනෑ. පත්තපිනිකාංගය කියන්නේ පාත්තරේට මොනවා බෙදුවත් ඒවා අරගෙන වළඳන්න ඕනෑ, මනුස්සයෝ කන දෙයක් නම්. වැඩිය හොඳ යි, වැඩිය රස යි කියලා තෝරන්න බෑ. ධ්‍රැතාංග රැකීම ආත්ම දමනයට උදව්වෙනවා”.

ස්වයං ඉගෙනුම

රාහුල හිමි ලියූ පොත්වල සිංලහ සංස්කරණ-

වසර කිහිපයක ආරණ්‍යක ජීවිතයෙන් පසු රාහුල හිමියන්ට තවදුරටත් අධ්‍යාපනය ලැබීමේ සිතක් පහළ වුණා. ඒ අනුව රාහුල හිමියෝ කොළඹට වැඩම කළා. ඒ අතර ලිපිලේඛනවලින් විවාදාත්මක කරුණු මතු කළා. සමහර භික්ෂූන්වහන්සේ ඒ අදහස්වලට කැමති වුණේ නැහැ. තම සොහොයුරු වික්ටර් හෑගොඩගේ උපකාර මත උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමේ අරමුණ ඇතිව උන් වහන්සේ ඉන්දියාවට වැඩම කළා. නමුත් සෞඛ්‍ය හේතු ඇතුළු විවිධ හේතු නිසා ඉන්දියාවේ අධ්‍යාපනය සාර්ථක වුණේ නැහැ.

වයස අවුරුදු 20 දී කොළඹ ධර්මදූත සභාවට එක්වී පරාර්ථ චර්යාවක් ලෙස ධර්මය දේශනා කරමින්, පීඩිත ජනයා නගාසිටුවීමට ක්‍රියාකළ රාහුල හාමුදුරුවෝ මේ කාලයේ දී සමාජයේ පීඩාවට පත් රොඩී ආදි කුලවල ජනයා අතර දින ගණන් ගතකරමින්, ධර්ම දේශනා පැවැත්වීම ද සිරිතක් කරගත්තා.

රාහුල හිමියන් තම හිතමිතුරන්ගේ මාර්ගෝපදේශකත්වය මත පොතපත කියවමින් ස්වයං අධ්‍යයනයේ යෙදීම ද සිදු කළා. ගණිතය හා විද්‍යාව ඉගෙනීමට රාහුල හිමියන්ට අත දී ඇත්තේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආචාර්යවරයකු වූ එස්. තංගරාජා යි. ඉංග‍්‍රීසි ඉගෙනීමට දායක වී තිබෙන්නේ නාලන්දා විද්‍යාලයේ නේවාසිකාගාර පාලකයෙකු වූ ඩී. එස්. ගුණසේකර යි.

සරසවි ගිය පළමු භික්ෂුව

විශ්වවිද්‍යාල කොජිලිය-

මේ ස්වයං ඉගෙනීමෙන් පසු සිලෝන් යුනිවර්සිටි කොලේජ් උන්වහන්සේ (ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාලයය) ආයතනයට ඇතුළත්වීමට සුදුසුකම් ලබනවා. රාහුල හිමියන් විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව අධ්‍යාපනය ලද පළමු ලාංකේය භික්ෂූන්වහන්සේ යි. මේ නිසා හාමුදුරුවන්ට විරුද්ධව පිරිසක් නැගී සිටිනවා. නමුත් විශ්වවිද්‍යාල කොලිජියේ ආචාර්යවරයා සහ උපදේශකවරයා වූ මහාචාර්ය ජී. පී. මලලසේකර රාහුල හිමියන්ට සහයෝගය ලබාදෙනවා. 1941 දී පංති සාමාර්ථයක්‌ ද සහිතව ගෞරව උපාධිය සම්පූර්ණ කිරීමට රාහුල හිමියන්ට අවස්ථාව ලැබෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සිටින කාලයේ දීත් ශිෂ්‍ය සංගම්වල කටයුතු කළ උන්වහන්සේ පීඩිත ජනයා වෙනුවෙන් සේවය කිරීමත් නතර කරන්නේ නැහැ. උන්වහන්සේ 1936 දී මැලේරියා වසංගතයෙන් පීඩාවට පත් වූ ජනයා වෙනුවෙන් කරන ලද සේවය විශේෂිත යි. මේ අවධියේ දී රාහුල හිමියෝ සමාජවාදී දේශපාලන නායකයන් වන එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, එස්. ඒ. වික‍්‍රමසිංහ ආදීන්ගේ ඇසුරත් ලබනවා.

“තංගරාජා මහත්තයා තමයි මට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට උදව් කළේ. කන්න බොන්න දීලා, නවාතැන් දීලා මාව බලාගත්තේ. ඒ දවස්වල කොළඹ යුනිවර්සිටියට යනකොට ගාස්තුවක් ගෙවන්න ඕනෑ. මට හොරා උන්නැහේ ඒක ගෙවනවා.” රාහුල හිමියෝ පවසා තිබෙනවා.

විප්ලවවාදී තරුණ භික්ෂුව

රාහුල හිමි සැමරීමට නිකුත් කළ මුද්දරයක්- colnet.com

රාහුල තෙරුන්ගේ ශිෂ්‍ය අවධියේ එක් වැදගත් සන්ධිස්ථානයක් වන්නේ බෞද්ධ භික්ෂූන්ගේ හා බෞද්ධ සාමාන්‍ය ගිහි ජනයාගේ බෞද්ධ පිළිවෙත් සම්බන්ධ කරුණු පිළිබඳව “සත්‍යොදය” නමින් ලියා නොමිලේ බෙදා හරින ලද පත‍්‍රිකා යි. මේ පත‍්‍රිකා 1933 දෙසැම්බර් සිට 1934 සැප්තැම්බර් මස දක්වා කාලය තුළ ලියා තිබෙනවා. බුද්ධාගමෙහි ඉතා සංවේදී කරුණු පිළිබඳව මේ පත‍්‍රිකාවන්හි පළ කරන ලද අදහස් සමහරු දැඩි විවේචනයට ලක් කළා. සමහර ජනප‍්‍රිය බෞද්ධ පිළිවෙත් බුදුරදුන්ගේ මූලික දර්ශනය හා කෙතරම් දුරට නොගැලපෙන්නේදැ යි රාහුල හිමි පෙන්වා දුන්නා. රාහුල තෙරුන්ගේ ප‍්‍රහාරයට ලක් වූ පිළිවෙත් අතර බුද්ධ පූජා ලෙස ආහාර පිරි නැමීම, සංඝයා අතර ඇති කුල භේදය, ධර්ම දේශකවරුන්ට ඔවුන් විසින් කරන ලද සේවයට ගෙවීමක් හා සමානව කරනු ලබන පූජා ආදිය කිහිපයක් පමණ යි. මේ කතා කෘතියක් ලෙස 1992 දී පළ වෙනවා.

ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර තබන්නේ තමන් පින් ගන්නා ආසාවෙනි. එය තෘෂ්ණාව යි. ප්‍රතිමාවකට ආහාර පූජා කිරීමේ දී කරුණා, මෛත්‍රී ආදී ගුණයන් උපදවන්නට ඉඩක් නැති බැවිනි. එහෙත් අසරණයකුට සංග්‍රහ කිරිමේ දී නියම අන්දමින් කරුණා මෛත්‍රී ගුණයෝ සිත්හි පහළ වෙති.

(සත්‍යොදය කතා)

අලුත් සම්ප්‍රදායකට පාර කැපූ විද්‍යාලංකාර පිරිවෙන-

උන්වහන්සේ 1940 දශකයේ දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක් වෙනවා. එය රාහුල හාමුදුරුවන්ගේ ජීවිතයේ මෙන්ම, රටේ ඉතිහාසයේ ද වැදගත් සිදුවීමක් ලෙස සැලකිය හැකියි. එහි අධ්‍යාපනයට මෙන්ම පිරිවෙන නගාසිටුවීමටත් විශාල සේවයක් රාහුල හිමියන්ගෙන් ඉටුවෙනවා.

භික්ෂුවගේ උරුමය

ශාස්ත්‍රීය කෘති විමසා බලන මහාචාර්ය රාහුල හිමි- tsemperinpoche.com

රාහුල හිමි ලියූ භික්ෂුවගේ උරුමය නම් පොත එකල බෞද්ධ සමාජය කැළඹිල්ලට ලක් කළ කෘතියක් වුණා. 1946 දි මුල්වරට එය ප‍්‍රකාශනයට පත් කළා. එහි පළමු මුද්‍රණයේ පිටපත් පළ වී සති තුනක් ඇතුළත විකිණී හමාර වූ බව පැවසෙනවා. භික්ෂුවගේ උරුමයෙහි මූලික තර්කය වූයේ ශ‍්‍රී ලංකා බෞද්ධ භික්ෂුවට දේශපාලන කාර්යයන්හි නියැලීම යුක්ති යුක්ත බව යි. මෙම පොත The Heritage of the Bhikkhu නමින් 1974 දී අමරිකාවේ දී පළ කෙරෙනවා.

ආචාර්ය උපාධිය

ආචාර්ය උපාධි නිබන්ධ කෘතියේ නව මුද්‍රණයක්- buddhistcc.com

රාහුල හාමුදුරුවෝ විද්‍යාලංකාර පිරුවනෙහි උගැන්වීම කරන අතරතුර මහාචාර්ය ජී. පී. මලලසේකර මහතාගේ උපදේශකත්වය මත History of Buddhism in Ceylon (ශ‍්‍රී ලංකාවේ බුදු දහමේ ඉතිහාසය) නම් මාතෘකාව යටතේ ආචාර්ය උපාධි පර්යේෂණ කාර්යය ආරම්භ කළා. 1950 දී උන්වහන්සේ පර්යේෂණ නිබන්ධය සඳහා ආචාර්ය උපාධිය ලබාගත්තා. ප‍්‍රංශ ආයතනයේ (The College of France) මහාචාර්ය පෝල් දෙමීවිල්ගේ මඟපෙන්වීම මත 1950 දී උන් වහන්සේට ප‍්‍රංශ රජයේ පශ්චාත් උපාධි පර්යේෂණ අධි ශිෂ්‍යත්වයක් හිමිවෙන්නේ මේ අතරතුර යි.

1959 දී What Buddha Taught (බුදුන් වදාළ ධර්මය) ග‍්‍රන්ථය පළ කරන්නේ උන්වහන්සේ විදේශගතව සිටින ගමන් විදේශිකයන්ට බුදුදහම සරලව කියාදීමට යි. එම කෘතිය පසුව සිරිපාල ලීලාරත්න සිංහලට පරිවර්තනය කළ අතර ප්‍රංශ, ජර්මන්, චීන, කොරියන්, යුගෝස්ලාවියන්, වියට්නාම්, ස්පාඤ්ඤ ඇතුළු භාෂා 17කට පරිවර්තනය වී තිබෙනවා.

අමෙරිකාවෙන් මහාචාර්ය තනතුරක්

රාහුල හිමි ලියූ කෘතිවල ඉංග්‍රීසි සහ ප්‍රංශ සංස්කරණ- Kusumsiri Wijayawardhana

බෞද්ධ උගතෙකු ලෙස රාහුල හිමියන්ට තිබූ කීර්තිය නිසා ඇමෙරිකාවේ නෝර්ත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලයය ආගමික ඉතිහාසය පිළිබඳ මහාචාර්යධුරයට උන්වහන්සේට 1964 දී ආරාධනා කරනු ලැබුවා. එම තනතුර භාරගත් උන්වහන්සේ එතැන් සිට එම විශ්වවිද්‍යාලයයේ සේවය කරමින් ඇමරිකාව පුරාම විශ්වවිද්‍යාල තුළ එතෙක්‌ පැවැති අසංවිධානාත්මක බෞද්ධ හැදැරීම් විධිමත් තත්ත්වයකට පත් කිරීමට ද කටයුතු කළා.

මේ අතර 1966 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයයේ උපකුලපති ධුරය උන්වහන්සේට පිරිනැමෙනවා. එහෙත් තෙවසරකට පසු 1969 දී උන් වහන්සේ එවකට අධ්‍යාපන ඇමති අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල සමග ඇතිවූ මතවාදී ගැටුමක් නිසා එම තනතුරින් ඉල්ලා අස්වී යළිත් විදෙස්ගත වෙනවා.

විදෙස්ගතව සිටින අතරතුර-

රාහුල හිමියෝ එංගලන්තයේ, ප්‍රංශයේ සහ අමෙරිකාවේ දිගු කලක් වාසය කිරීමෙන් පසු එක්‌දහස්‌ නවසිය අසූවේ මුල් භාගයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා. භික්ෂූන්වහන්සේලාගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කරන්නේ ඒ කාලයේ දී යි. ඊට අමතරව බෞද්ධ අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා කෝට්‌ටේ දියවන්නා ඔය අසල බෞද්ධ අධ්‍යයන හා පර්යේෂණ ආයතනය (දැන් හඳුන්වන පරිදි වල්පොල ශ්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනය) පිහිටවනවා.

සාකච්ඡාවකට එක්වෙමින්-

උන්වහන්සේ 1997 සැප්තැම්බර් 18 වන දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අපවත් වුණා. ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 90 ක්. උන්වහන්සේගේ අවසන් කැමැති පත්‍රයට අනුව පැය විසිහතරකට අඩු කාලයක දී ආගමික වතාවත් හැර වෙනත් කිසිදු ගිහි කතා හෝ උත්සව ආදියකින් තොරව බොරැල්ල ආදාහනාගාරයේ දී උන්වහන්සේගේ ආදාහනය කරන්නට කටයුතු කර තිබුණා. ලෝකය පිළිගත් මේ විශිෂ්ට යතිවරයාණන් වහන්සේගේ සරල ජීවිතය අද සුපිරි පහසුකම් සොයමින් යන භික්ෂු පරම්පාරවට අපූරු ආදර්ශ සපයනවා.

ලංකාවේ ජනතාව ගැන වල්පොල රාහුල හිමියන් විසින් දක්වන ලද මේ අදහස වර්තමානයටත් අදාළ බව අපගේ හැඟීම යි:

“සමාවෙන්න ඕනෑ මම මේ කියන එක ටිකක් තද නම්. මේ රටේ නිදහස් මිනිස්සු නැහැ. වහල්ලු ඉන්නේ”.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග