වසර 9ක් පැරණි රාජපක්ෂ වියරුවට එරෙහි වීදියේ විරෝධය නඩුව යළිත් කල් යයි…

රාජපක්ෂ පාලනයේ වියරුවට එරෙහිව වීදියේ විරෝධය සංස්කෘතික විරෝධතාවයට එවකට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් පහරදීමට අදාළ නඩුව ඊයේ (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැදවනු ලැබුණි.
මෙම විරෝධතාවයට එවකට රාජපක්ෂ ආණ්ඩුවේ බලය භාවිතා කරමින් සිදු කල අමානුෂික පහර දීමෙන් සංගීතවේදී ජයතිලක බණ්ඩාර, මාධ්‍යවේදී සම්පත් සමරකෝන්, සිවිල් ක්‍රියාකාරී ප්‍රසංග ප්‍රනාන්දු සහ හම්බන්තොට නගර සභාවේ හිටපු විපක්ෂ නායක අයුබ් ඛාන් යන අය තුවාල ලැබීය. ඊයේ දිනයේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ඔවුන් සියළු දෙනාම නැවතවරක් අධිකරණයේ පෙනී සිටිනු ලැබීය.
මෙම නඩුවේ එක් චූදිතයෙක් බන්ධනාගාරයේ සිටීමත්, බන්ධනාගාරය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකිරීමත් හේතු කොටගෙන චූදිතයෙක් නොමැතිව නඩු විභාගය ආරම්භ කල නොහැකි බැවින් නඩු විභාගය නැවත වරක් කල් දැමීමට මහේස්ත්‍රාත්වරයාට සිදු වූ අතර, සැප්තැම්බර් 27 වන දින මෙම නඩුව නැවත කැදවීමට නියම කරන ලදී .
විවිධ හේතු මත මෙම නඩුව වසර 9 ක් තිස්සේ කල් ගොස් ඇති අතර විභාගයද තවමත් ආරම්භ කිරීමට නොහැකි වී ඇත. මෙම පහර දීමෙන් තුවාල ලැබූ වින්දිතයන්ට වසර 9 ක් තිස්සේ අධිකරණයට යුක්තිය ඉල්ලා පැමිණීමට සිදු වී ඇත.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ දුලාන් දසනායක මහතා මෙහිදී වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින ලද අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දුර බැහැර ප්‍රදේශ වල පදිංචි කරුවන් බැවින්ද වසර 10 ක් පැරණි නඩුවක් බැවින් කෙටි දිනයකින් විභාගය සදහා කැදවන ලෙස ඒ මහතා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
චූදිත එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ අනෙක් චූදිතයන් වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ සම්සුදීන් මහතා ඇතුළු නීතිඥයන් විශාල පිරිසක් පෙනී සිටින ලදී. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් සිදු කල ඉල්ලීමට ඔවුන් විරෝධය පළ නොකල අතර එම ඉල්ලීම පිළිගනිමින් සැප්තැම්බර් 27දිනට නඩුව කැදවීමට නියම කරන ලදී. බන්ධනාගාරගතව සිටින චූදිත එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද බන්ධනාගාරය වෙත නියෝග කරන ලදී.
Social Sharing
නවතම පුවත්